Sunday, October 30, 2011

ජාන විකරණය කරන ලද විවිධ ශාක වර්ග මේ වන විට ලෝකයේ රටවල් රැසක වගා කරනු ලැබේ. මේ අතර විවිධ ආහාරමය භෝග මෙන් ම කපු වැනි ආහාරමය නොවන භෝග වර්ග ද රැසක්‌ තිබේ. මේවායේ සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳව ඇති සංවාදය තවමත් අවසන් නොමැත. ඒවායෙන් ඇති විය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ තවදුරටත් මේ ශාක වර්ග වගා කිරීමත් සමඟ ය.

මෙවැනි බලපෑම් පිළිබඳව සඳහන් පර්යේෂණ වාර්තා දෙකක්‌ මෑත දී ප්‍රකාශයට පත් විය. මේ වාර්තා දෙකම ජාන විකරණය කළ මේ ශාක විශේෂ දෙකක්‌ පරිසරයට නිකුත් වීම හා සම්බන්ධය. ඉන් එක්‌ සිදුවීමක දී ශාකයක ගහනයක්‌ වගා බිමෙන් පිටත ස්‌වාභාවික පරිසරයේ හමු වී ඇති අතර අනෙක්‌ සිදුවීමේදී අදාළ ශාකයේ ජාන වල් ශාකවලට මිශ්‍ර වී ඇත. මේ දක්‌වා මෙවැනි සිදුවීම් තුනක්‌ වාර්තා වී තිබේ. අනෙක්‌ ශාකය තෘණ විශේෂයක්‌ සේ වගා කරනු ලබන Agrostis විශේෂයකි.

මේ තත්ත්වය කලක පටන් පෙන්වා දී තිබූ එක්‌ අතුරුඵලයක්‌ සේ හැඳින්විය හැකිය. දැන් එය සිදුවෙමින් තිබේ. මේ ආකාරයෙන් ජාන විකරණය කරන ලද ශාකවල ජාන වල් විශේෂවලට මිශ්‍ර වීමෙන් සිදුවිය හැකි බරපතළම බලපෑම වන්නේ ඉන් ඒවායේ ප්‍රවේණික විවිධත්වය අඩු වීමට ඇති හැකියාවයි. ඉන් ඇති විය හැකි බලපෑම විවිධ විය හැකි ය. මේ නිසා වගා කරනු ලබන ජාන විකරණය කරන ලද ශාක හා වල් විශේෂ අතර ඇති වන මේ මුහුම්වීම වැළැක්‌වීම වැදගත් වේ. එහෙත් ජාන විකරණය කළ භෝග වර්ගවලින් ඇති වන මේ පාරිසරික බලපෑම පාලනය කිරීමට සාර්ථක ක්‍රමවේදයක්‌ මේ දක්‌වා භාවිත නො වේ.

කැනෝලා ශාකයේ වගා බිමෙන් පිටත හමුවේ

ජාන විකරණය කර නිපදවන ලද කැනෝලා 1 (Canola 1 - Brassica napus) නම් ශාකය තෙල් ලබා ගැනීම සඳහා වසර දහයකට අධික කාලයක්‌ තිස්‌සේ උතුරු ඇමෙරිකාවේ වගා කෙරෙන ශාකයකි. මේ වන විට ඇමෙරිකාවේ මෙන් ම කැනඩාවේ වගා කරනු ලබන කැනෝලා වලින් සියයට 90කටත් වැඩි ප්‍රමාණයක්‌ ජාන විකරණය කරන ලද ශාක වේ. මේ ශාකය සකස්‌ කර ඇත්තේ ග්ලයිපොසේට්‌ හා ග්ලූපොසිනේට්‌ නම් වල් පැළෑටි නාශකවලට ඔරොත්තු දීම සඳහා ය.

මේ කැනෝලා ශාකයේ ගහන උතුරු දිග ඩැකෝටා ප්‍රදේශයේ වගා භූමිවලින් පිටත ප්‍රදේශවලින් හමුවී ඇත. වගා භූමියෙන් පිටතට සංක්‍රමණය වී ඇතැයි අදහස්‌ කරන මේ ශාක ව්‍යාප්ත වීම සිදු වී ඇත්තේ මාර්ග දෙපස වන අතර මෙසේ අධ්‍යයනය කළ නියෑදියෙන් සියයට 45 ක්‌ පමණ මේ ශාකය වීම ද වැදගත් වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ උක්‌ත ශාක ගහනය වසරින් වසර ස්‌ථාවර වෙමින් පවත්නා අතර ඒ ශාක අතර මුහුම්කරණය වෙමින් නව විකරණය වූ ජාන සහිත ශාක දර්ශ බිහිවීමට ද හැකියාවක්‌ තිබීම ය. මේ අනුව තත්ත්වයේ ඇති බරපතළ ස්‌වභාවය පැහැදිලි ය. (මූලාශ්‍රය : PLoS ONE, DOI: 10.1371/
journal.pone.0025736)

කපු ජාන වල් කපුවලට මිශ්‍රවෙලා



මේ අතර ජාන විකරණය කර නිපදවා ඇති කපු ශාකයේ ජාන වෙනත් වල් කපු ශාකවලට මුහුම් වී ඇති බව මෙක්‌සිකෝවේ සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙහි දී අධ්‍යයනයට ලක්‌ කරන ලද Gossypium hirsutum විශේෂයේ වල් කපු ශාක අතරින් හතරෙන් පංගුවක පමණ බීජ තුළ මේ ජාන හමු වී තිබේ. මේ ආකාරයට මුහුම් වී ඇති බීජ නිපදවා ඇති එක්‌ වල් කපු ශාකයක්‌ තිබී ඇත්තේ ආසන්නතම ජාන විකරණය කරන ලද භෝග වගාවට කිලෝමීටර් 755ක්‌ පමණ දුරකින් වීම විශේෂිත සිදුවීමකි. අනෙක්‌ අතට අධ්‍යයනයේ දී හමුවී ඇති බොහෝ ශාක මුහුම්කරණය වී පරම්පරාවකට වඩා ගත වී ඇති බවත් මෙහි දී හෙළි වී තිබේ. මෙක්‌සිකෝවේ ජාන විකරණය කරන ලද කපු ශාක වගා කරනු ලබන්නේ 1996 වර්ෂයේ පමණ පටන් ය. කපු ශාක ජාන වෙනස්‌ කිරීම මගින් කෘමීන්ට, වල්පැළෑටි නාශක හා ප්‍රතිවක්‍රවලට ඔරොත්තු දීම සඳහා සකස්‌ කර තිබේ. මේවායෙන් නිපදවනු ලබන බීජ බොහෝ ඈත ප්‍රදේශවලට පවා ගමන් කළ හැකි ය. ඒ සාමාන්‍ය බීජ ප්‍රචාරණ ක්‍රම මගිනි.

ලෝකයේ වගා කර ඇති කපු ප්‍රභේද සියල්ල ම පාහේ ඉහත කී වල් කපු විශේෂයෙන් ගෘහාශ්‍රිතකරණයට ලක්‌ කරන ලද ශාක වේ. එය සිදු වී ඇත්තේ මෙක්‌සිකෝවේ දී බව ද විශ්වාස කරනු ලැබේ. කපු ශාකවල ප්‍රවේණික විවිධත්වය ඉහළ තත්ත්වයක ඇති මෙක්‌සිකෝවේ සිදු වී ඇති මේ සිදුවීම සුළු කොට තැකිය නො හැක්‌කේ ඒ නිසා ඒවායේ විවිධත්වය අඩුවීමක්‌ සිදුවිය හැකි නිසා ය. (මූලාශ්‍රය : Molecular Ecology, DOI:
10.1111/j.1365-294X.2011.05258.x)

ෆුකුෂිමා අනතුරේ සැබෑ තරම කොපමණ ද?

පසුගිය මාර්තු මාසයේ දී ඇති වූ සුනාමි ව්‍යසනය ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරයේ ඇති වූ අනතුර පිළිබඳව තවමත් සාකච්ඡා කළ යුතු කරුණු අතර ඇති බව පෙනේ. මේ වන විට විකිරණ බලපෑමට ලක්‌ වූ විශාල ප්‍රදේශයකින් ජනතාව ඉවත් කර ඇත. එහෙත් උක්‌ත අනතුරෙන් බොහෝ ඈත පිහිටි ප්‍රදේශවලින් පවා අධික විකිරණශීලීතාවක්‌ ඇති කුඩා ප්‍රදේශ හමුවීම දැක්‌විය හැකි ය. ෆුකුෂිමාහි සිට කිලෝමීටර දෙසිය පණහක්‌ පමණ දුරින් පිහිටා ඇති යොකොහාමා ප්‍රදේශයෙන් හා තවත් ප්‍රදේශවලින් එවැනි ස්‌ථාන හමු වී ඇත. කෙසේ වෙතත් මේ තත්ත්වය එතරම් භයානක තත්ත්වයක්‌ නොවන බව මේ පිළිබඳ විශේෂඥයින් විසින් පවසා ඇත. ඒ මේ ප්‍රදේශ ප්‍රමාණයෙන් බෙහෙවින් කුඩා ප්‍රදේශ වීම නිසා ය.

මේ අතර අදාළ බලාගාරයේ පාලක සමාගම පවසන ආකාරයට බලාගාරයෙන් නිකුත් වන විකිරණ ප්‍රමාණය මීට මාසයකට පෙර පැවැති ප්‍රමාණයෙන් අඩක්‌ දක්‌වා අඩු කිරිමට මේ වන විට හැකියාව ලැබී තිබේ. ඉදිරියේ දී සිසිල් අක්‍රීය කිරීමකට ලක්‌ කිරීමට නියමිත මේ බලාගාරයේ ගැටලූව විසඳීමේ උත්සාහයේ වැදගත් වර්ධනයක්‌ සේ මෙය දැක්‌විය හැකි ය. කෙසේ වෙතත් මෙසේ අක්‍රීය කිරීම සඳහා නිශ්චිත දිනයක්‌ පැවසීම තවමත් අසීරු බව පෙනේ. අනෙක්‌ අතට මේ බලාගාරය වසා දැමූ පමණින් හා ඉක්‌මනින් අනතුරේ බලපෑමට ලක්‌ වූ ප්‍රදේශයෙන් ඉවත් කළ ජනතාවට ආපසු පැමිණිය හැකිවෙතැයි සිතීම අසීරු ය. ඒ අදාළ ප්‍රදේශයේ ඇති විකිරණශීලී ද්‍රව්‍ය ඉවත් කිරීමට මහා පරිමාණ පිරිසිදු කිරීමක්‌ සිදුකිරීමට අවශ්‍ය වේ. ගණන් බලා ඇති ආකාරයට වර්ග කිලෝමීටර් 2400ක්‌ පමණ විශාල ප්‍රදේශයක්‌ පිරිසිදු කර විෂ රහිත කිරීමට තිබේ. එය පහසු හෝ සරළ කටයුත්තක්‌ නො වේ. ඒ සඳහා ද සැලකිය යුතු කාලයක්‌ ගත විය හැකි ය.

මේ අතර ෆුකුෂිමා බලාගාරයේ අනතුරෙන් අවතැන්වූවන් පසුවන්නේ ඉතා අපේක්‌ෂා භංගත්වයෙන් බව පසුගියදා පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් විය. තම ජීවනෝපය අහිමිවීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ඔවුන් ගේ ජීවිත බොහෝ ගැටලූ සහිත වී තිබේ. සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා දීමට නියමිත වුවත් ඒ ක්‍රියාදාමය බෙහෙවින් සංකීර්ණ වී තිබේ. එසේම මේ දක්‌වා ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවල දී බලධාරීන් විසින් ඔවුන්ට සලකා ඇති ආකාරය පිළිබඳව ද ගැටලූ ඇති බව විදේශ වාර්තා අනුව පෙනේ.

නවසීලන්තයේ තෙල් නැව් අනතුර

නවසීලන්තයට උතුරුදිගින් පිහිටි මුහුදේ සිදු වී ඇති නැව් අනතුර නිසා ඇති වී තිබෙන තත්ත්වය එරට මෑත දී සිදු වී ඇති බරපතළම පාරිසරික ගැටලූවක්‌ සේ සැලකේ. රේනා නම් මේ බහාලූම් ප්‍රවාහනය කරන නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රාකරන අතර කොරල්පරයක වැදීමෙන් අනතුරට ලක්‌ වූයේ සති කිහිපයකට පෙර ය. මේ නැවේ තෙල් ටොන් 1300ක්‌ පමණ තිබී ඇති අතර ඉන් තෙල් ටොන් 350ක්‌ පමණ සාගරයට එක්‌ වී ඇති බව විශ්වාස කරනු ලැබේ. මේ නිසා ඇති විය හැකි පාරිසරික හානිය අවම කිරීම සඳහා පොම්ප කිරීමෙන් තෙල් ඉවත් කිරීමට කටයුතු කරමින් ඇතත් ඊට අයහපත් කාලගුණයෙන් බාධා ඇති වී තිබිණි.

පසුගිය සතිය වන විට නවසීලන්ත වෙරළ තීරයේ කිලෝමීටර් හැටකට අධික ප්‍රදේශයක තෙල් පැතිර ගොස්‌ පක්‌ෂීන් දැඩි බලපෑමට ලක්‌ වී ඇත. නැවේ තිබූ බහාලූම් හා ඒවායේ ඇතුළත් දෑ ද වෙරළට පාවී පැමිණ තිබේ.

මුහුදු මට්‌ටම වසර 500 ක්‌ ඉහළ නගී?

මුහුදු මට්‌ටම ඉහළ යැම දේශගුණ වෙනස්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අප මුහුණ දී ඇති ප්‍රධාන අහිතකර ප්‍රතිවිපාකයකි. එය මේ වන විටත් සිදුවෙමින් තිබේ. මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකට අනුව අද පවත්නා තත්ත්වයෙන් ම කටයුතු සිදුවුවහොත් තවත් වසර 500ක්‌ පමණ දක්‌වා කාලයක්‌ තිස්‌සේ මුහුදු මට්‌ටම ඉහළ යා හැකි ය. ආකෘතික අධ්‍යයනයක්‌ වන මෙහි දී ආකෘතිය අතීතයට දිගු කිරීමෙන් මුහුදු මට්‌ටම ඉහළ යාම පිළිබඳ සත්‍ය මිනුම් ද භාවිත කර තිබීම විශේෂ වේ.

ඒ අනුව දිගින් දිගට ම හරිතාගාර වායු විමෝචන ඉහළ යන්නේ නම් 2000 වර්ෂය වන විට මීටර් 1.1කින් ද, 2500 වන විට මීටර් 5.49කින් ද මුහුදු මට්‌ටම ඉහළ යා හැකි ය. මෙය බරපතළ තත්ත්වයකි. එසේම වඩාත් සුබවාදී තත්ත්වයක්‌ තුළ (එනම් හරිතාගාර වායු විශාල ලෙස පාලනය කළ හා තාක්‌ෂණික වශයෙන් දියුණු උපක්‍රම යොදාගන්නා තත්ත්වයක්‌ තුළ) දී 2100 වර්ෂය වන විට මීටර් 0.57කින් ද 2500 වන විට මීටර් 1.84කින් ද මුහුදු මට්‌ටම ඉහළ යනු ඇත. එසේම වඩා යථාර්ථවාදී තත්ත්වයක්‌ තුළ, එනම් වායු විමෝචන හා පරිසර දූෂණය ස්‌ථාවර වීමක්‌ තුළ, පවා මුහුදු මට්‌ටම ඉහළ යැම 2100 වර්ෂය වන විට මීටර් 0.75කින් පමණ ද 2500 වර්ෂය වන විට මීටර් 2 කින් පමණ ද ඉහළ යා හැකි ය. (මූලාශ්‍රය : Global and Planetary Change,
DOI: 10.1016/j.gloplacha.2011.09.006)

ඉන්දියාවේ ඉඩම් කොල්ලය හා නීතිය

බහුජාතික සමාගම් හා ධනවත් රටවල සමාගම් විසින් තුන්වැනි ලෝකයේ රටවල සිදුකරනු ලබන ඉඩම් කොල්ලය හා ඉන් ඇතිවන බලපෑම් මේ වන විට බොහෝ රටවල අවධානයට ලක්‌ව ඇති කරුණකි. මේ නිසා අදාළ රටවල ජනතාව ගේ පැවැත්ම, ආහාර සුරක්‌ෂිතතාවය මෙන් ම ජෛව විවිධත්වය ද තර්ජනයට ලක්‌විය හැකි ය.

මෑත දී ඉන්දියාවෙන් වාර්තා වූ පුවතකට අනුව එරට බලධාරීන් ගේ කටයුතු නිසා මහා පරිමාණයෙන් ඉඩම් අල්ලා ගන්නා පිරිස්‌ වෙනුවට කුඩා ප්‍රමාණයෙන් ඉඩම් අල්ලා ගන්නා පිරිස්‌ පමණක්‌ නීතිය හමුවට ගෙන ඒම සිදුවේ. කුඩා ප්‍රමාණයෙන් ඉඩම් අල්ලා ගැනීම සිදුකරනු ලබන්නේ යෑපුම් කෘෂිකර්මය වැනි කටයුතු සඳහා වන අතර මහා පරිමාණ ඉඩම් අල්ලා ගැනීම් වැවිලි සඳහා මෙන් ම සංචාරක ව්‍යාපාරය වැනි කටයුතු සඳහා ද සිදු කෙරේ. මේ කුමන ආකාරයේ ඉඩම් අල්ලා ගැනීම ක දී වුවත් ජෛව විවිධත්වයට බලපෑමක්‌ ඇති වේ.

2 comments:

  1. මුළු ලෝකෙටම විපත් වගේ. මම දන්න තරමට තායිලන්තේ වැහි වතුර එක්කලත් සුළුවෙන් හරි විකිරණ ශීලී මූලද්‍රුය (Cs-137)එහෙම වැටෙනවලු. මිනිහම මිනිස් සංහතියේ වල කපාගන්නවා කියන්නෙ ඕවට.

    ReplyDelete
  2. විද්‍යාවේ දියුනුව මානව සංහතියේ පැවැත්ම සදහාමද?

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya