06.නො-මිනිස්‌

"ඔබ අප ආයතනය වෙත යොමු වූවාට ස්‌තූතියි. මම කේරි. මට කොහොම ද ඔබට උදව් කරන්න පුළුවන්?"

"මගේ ගෘහස්‌ථ ඒකකය හරිහැටි ක්‍රියා කරන්නේ නැහැ" මහලු මිනිසකු ගේ රළු කටහඬ අනෙක්‌ පසින් ගලා ආවේ ය. "මම දිගින් දිගට ම විධාන දුන්නත් ඒවා ක්‍රියාත්මක වන බවක්‌ පේන්න නැහැ."

"අපි බොහොම සතුටින් ඔබට උදව් කරන්න සූදානම්. කරුණාකරලා ඔබ ගේ ගිණුම් අංකය ලබා දෙන්න."

ඔහු කලබලයෙන් අදාළ විස්‌තර කියා දැමුවේ ය. මම ඒවා තිරය මත සටහන් කළෙමි. මගේ අනෙක්‌ පස සිටි පැටී තවත් දුරකථන ඇමතුමකට පිළිතුරු දෙනු මම ඇස්‌ කොනින් දුටුවෙමි. සංවාදය අතරතුර ඇය සෙමින් හිස සොලවමින් කතා කළා ය. එක්‌ ඇමතුමක්‌ වෙනුවෙන් ඇය එතරම් කාලයක්‌ නිකරුණේ අපතේ යවන විට ඊළඟ ඇමතුමටත් පිළිතුරු දීමට සිදු වන්නේ මා හට ය. මට කිසිසේත් ම ඇයට තරම් වාසනාවක්‌ තිබුණේ නැත. මා සිටියේ බැංගලෝරයේ කර්මාන්ත ශාලාවක සේවය කරන කළමනාකරුවකුට අවශ්‍ය කේතයක්‌ සොයමිනි. ඒ අතරතුර ලබන වසර සඳහා වන වර්ණ සංකලනයන් පිළිබඳව අසන අයකු හට ඊ- මේල් පණිවිඩයක්‌ යෑවීමට ද සිදු ව ඇත. මේ වැඩ අතරතුර මගේ සේවාදායකයා ගේ ගිණුම තිරය මත විවෘත විය.

"හෝල්ඩන් මහත්මයා, ඉවසීමෙන් රැඳී සිටියාට බොහොම ස්‌තූතියි. තව එක්‌ තහවුරු කිරීමක්‌ කළොත් අපට ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න පුළුවන්. ඔබ සිටින්නේ 24 සී, බර් ගොඩනැඟිල්ල, 12 නගරය යන ලිපිනයේ ද?"

"ඔව්" ඔහු සුසුමක්‌ හෙළී ය. "ඒ කිසි දෙයක්‌ වෙනස්‌ වෙලා නැහැ. ඔයාල දුන්න මැෂිම වැඩ කරන්නේ නැති එක තමයි තියෙන ගැටලුව"

"මට සමාවෙන්න මහත්තයා, අපි හැකි ඉක්‌මනින් එය නිවැරැදි කරන්නම්. ඔබ ළඟ තිබෙන්නේ 'May' මොඩලයක්‌ වෙන්න ඕනි. මීට හරියට ම දින 78කට කලින් තමයි ඔබට එය ලබා දී තිබෙන්නේ. තවමත් ඔබ ගේ වගකීම් සහතිකය කල් ඉකුත් වී නැති නිසා මේ ඇමතුම සඳහා මුදල් අය කෙරෙන්නේ නැහැ." මම කාරුණිකව පැවසුවෙමි. තමන්ට ඇමතුම සඳහා මුදල් වැය නො වන බව දැනගත් විට සමහර කරදරකාරයෝ වුවමනාවටත් වඩා දොඩමලු වෙති.

ඒ වන විටත් ඉන්දියාවේ කම්කරු මොඩල දුසිම් කිහිපයක්‌ සඳහා නව මෘදුකාංග ඩවුන්ලෝඩ් කිරීමට මට සිදු ව තිබිණි.

"හෝල්ඩන් මහත්මයා" ඇය සමග ඇති වුණේ මොන වගේ ගැටලුවක්‌ ද කියලා පැහැදිලි කරන්න..."

"ඇය, කියන කිසි ම දෙයක්‌ කරන්නේ නැහැ."

"සමහර විට අත්වැරැදීමකින් එය ක්‍රියා විරහිත කර තිබුණා ද දන්නෙ නැහැ?"

"නැහැ. ඇයව ක්‍රියාත්මක කරලයි තිබෙන්නේ. මේ මොහොතේත් ඇය සෝµdව උඩ වාඩි වෙලා ඔරවා ගෙන බලන් ඉන්නවා."

"ඇයව සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කොට නැවත පණ ගන්වා බැලුවා ද?"

"ඔව්" මම එහෙමත් කරලා බැලුවා. වැඩක්‌ වුණේ නැහැ. මුල දී ඇය ගොඩාක්‌ සතුටින් වගේ හිටියා. ඒත් ටික වේලාවකින් මා දුටු විට නැවත සිනාසීම නැවතිලා වෙනස්‌ වුණා."

මම ජෝන් හෝල්ඩන් ගේ ලිපි ගොනුවෙහි ඇති තොරතුරු මත පිළිවෙළින් දෑස්‌ යෑව්වෙමි. මූලිකව ක්‍රියාත්මක වන වැඩසටහන සමග ගැටෙනා ආකාරයේ නව කොටසක්‌ අනුයුක්‌ත කර ඇති දැයි හෝ යාවත්කාලීන කිරීමේ දී යම් ගැටලුවක්‌ ඇති වී දැයි හොඳින් පිරික්‌සා බැලුවෙමි. "කරුණාකර ඔබ ඇය ගෙන් ඉල්ලා සිටි සේවාවන් මොනවා දැයි මට කියන්න පුළුවන් ද?"

"සාමාන්‍ය දේවල්..." ඔහු තදින් ම කියා සිටියේ ය. ඒ ඔවුන් සියල්ලන් ගේ ම හැටි ය. "හරි ම සාමාන්‍ය දේවල්... උයන්න, පිරිසිදු කරන්න. අද උදේ මම කිවුවා උදේ කෑමට බේකන් ටිකක්‌ හදන්න කියලා. එයා ඇහුණෙ නෑ වගේ අත් දෙක බැඳගෙන බලාගෙන හිටියා."

ඔහු ගේ ස්‌වරයෙන් ම මම ගැටලුව කුමක්‌ දැයි හඳුනා ගතිමි. "මහත්මයා, ඔබ දයාව සහ

රැකබලා ගැනීම පැකේජය ඇණවුම් කළා නේ ද?"

"ආහ්... ඒක අර කරුණාවන්ත කරනවා කියපු එක නේ ද? ඒ දවස්‌වල මට කිවුවේ ඒකෙන් ඇයව වඩා කරුණාවන්ත කරනවා කියලයි. මගේ කෑම හදන්න බැහැ කියන එක කොහොම ද කරුණාවන්තකමක්‌ වෙන්නේ?" ඔහු කෑගැසුවේ ය. කටහඬ එන දිශාව වෙනස්‌ වූ බව මට දැනිණි. ඔහු කෑ ගැසුවේ ඇයට බව මම වටහා ගතිමි.

"මහත්මයා, කරුණාකර සන්සුන් වන්න. මට විශ්වාසයි අපිට මේ ගැටලුව හොඳින් විසඳාගන්න පුළුවන් කියලා." එවිට ම පැටී මට අතින් සංඥා කළා ය. එහි තවත් ඇමතුමක්‌ එමින් තිබිණි. මම එයට පිළිතුරු දුනිමි. මහලු ගැහැනියක ගේ හඬ අනෙක්‌ පසින් ඇසුණු අතර මොහොතකින් දුරකථනයේ නිවෙමින් දැල්වෙමින් තිබූ කොළ පැහැති බල්බය නිවී ගියේ ය. ඇමතුම විසන්ධි වී තිබිණි. ඉදින් තවත් වේලාවක්‌ යන තුරු මේ හොස්‌ස ළඟින් මැස්‌සෙක්‌ ගිය ද කෝප වන මහත්මයා ගේ ගැටලුවට සවන් දීමට මට හැකි වනු ඇත. "මේ අහන්න හෝල්ඩන් මහත්මයා, ඒ අලුත් පැකේජය මඟින් ඔබ ගේ ගෘහස්‌ථ ඒකකය ඔබ ගේ විධානවලට අනුව වැඩ කටයුතු ඉටු කර දීමට වඩාත් නම්‍යශීලී වනවා. එමෙන් ම කෝපය වැනි ඔබ ගේ සෘණ ප්‍රතිචාර සඳහාත් යම් ප්‍රමාණයකට සංවේදී වෙනවා. එම නිසා ඔබ විධාන ලබා දිය යුත්තේ ඉල්ලීමක්‌ ආකාරයටයි. ඔබ ඇයට විධාන දීමේ දී "කරුණාකරලා" යන වචනය භාවිත කළා ද?"

"මොකක්‌? මම මොකට ද ඇගෙන් එහෙම අහන්නේ? ඇය රොබෝවෙක්‌.... මිනිහෙක්‌ නෙමෙයි නෙ"

මම සුසුමක්‌ හෙළීමි. මේ අවුරුදු 80ක්‌ පමණ වයසැති මාන්නක්‌කාර මිනිසාට මෙය කෙසේ නම් අවබෝධ කරන්න ද?

"මහත්මයා, මේ 'May' මොඩලය ඉදිරිපත් කරලා තිබෙන්නේ ඉවීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා තමයි. ඉතින් මට ඔබ ගේ කලකිරීම තේරුම් ගන්න පුළුවන්. ඇයටත් අවශ්‍ය ඔබට උදව් කිරීමට. එය ඇගේ වැඩසටහනෙහි ම ඇතුළත් කර තිබෙනවා. ඇයට ඕනෑවට වඩා වැඩ පැවරීම නම් සුදුසු නැහැ. ඇයට ටිකක්‌ කරුණාවෙන් සැලකීම තමයි වුවමනා කරන්නේ..."

"හ්ම්... ඕනෑවට වැඩි වැඩ," ඔහු නොමනාපයෙන් කෙඳිරුවේ ය. "මම සම්පූර්ණ පද්ධතිය ම මුල සිට ම ආරම්භ කළොත්?"

"ඔව්" ඔබට එහෙම කරන්නත් පුළුවන්. එයින් තාවකාලිකව ගැටලුව විසඳෙයි. නමුත් ඇය නැවතත් ඔබේ අවශ්‍යතාවන් ඉටු කිරීමට ගිය විට ඔය ගැටලුව ම ඇති වේ වි".

"ඒකට කමක්‌ නැහැ. උදේ කෑම නැති වෙනවට වඩා ඒක හොඳයි."

මම අසීරුවෙන් මුවගට සිනහවක්‌ නඟා ගතිමි. (පුහුණුවේ දී අපට පවසා තිබුණේ සැම විට ම සිනහමුසු මුහුණින් පිළිතුරු දෙන ලෙස ය.) හෝල්ඩන් හට ඔහු ගේ මොඩලය ක්‍රියා විරහිත කර නැවත පණ ගැන්වීම සඳහා අවශ්‍ය උපදෙස්‌ ලබා දුනිමි. ඉන් 'May' ඒකකය නැවතත් ඉක්‌මනින් ම පෙර පුරුදු "බේකන් උයන" සංග්‍රහශීලී පුද්ගලයා බවට පත් වනු ඇත.

ඔරලෝසුව දෙස බැලූ මම පරිගණක තිරය නිවා දැමුවෙමි. බැංගලෝරයේ මහත්මයා හෙට වන තුරු බලා සිටියාට කමක්‌ නැත.

"නරක ඇමතුමක්‌ නේ ද?" පැටී ඇසුවා ය.

"එපා කරපු මිනිහෙක්‌. තමන් ගේ රොබෝට ඇත්ත ම හැඟීම් තියෙනවයි කියන එක තඹේකට මායිම් කරන්නේ නැහැ."

පැටී හිස වනමින් එයට ප්‍රතිචාර දැක්‌වූවා ය. ඉස්‌කුරුප්පු නියන අතට ගත් මම මගේ මිතුරිය වෙත ගියෙමි. "පැටී කරුණාකරලා මට ඔයා ගේ බෙල්ලේ ලීවරයේ ඇණය තද කරන්න දෙනව ද? ඔයා ඔය විදිහට දිගටම ඔළුව හොල්ලද්දි මට පිස්‌සු හැදෙන්න එනවා."

"අනේ හා, කරුණාකරලා..." ඇය සතුටින් පිළිතුරු දුන්නා ය. "මට කරකැවිල්ලක්‌ හැදීගෙනයි ආවේ ඒක නිසා."

"හ්ම් මට තේරෙනවා." මම කීවේ ඇගේ බෙල්ල පිටුපස ලීවර පද්ධතිය විවර කරමිනි.

"මටත් හැම තිස්‌සෙ ම ඕක වෙනවා."

Carie Cuinn සින් රචිත "Call under blues" නම් කෙටි විද්‍යා ප්‍රබන්ධයෙහි අනුවාදයකි.)

05.නික්ම යෑම

ජනේලයෙන් පිටත වූ ආකාශය රත් පැහැයෙන් දැවෙමින් තිබිණි. වෙන් වීමේ වේදනාවෙන් හිරි වැටී සිටි මගේ සිත තිබුණේ වෙනතක ය. බාහිර ලෝකයෙන් වෙන් වී විරහව සමඟ මෙහි තනි වී සිටිනා මා වෙත පිටත ලෝකයේ තොරතුරු කාන්දු වූයේ ඉතා සෙමිනි. දින ගණනාවක සිට නාද වෙමින් පවතින මගේ ජංගම දුරකථනයට පිළිතුරු සැපයීමට වත් මට සිතක්‌ නො විණි. කිසිවකු සමඟ කතා කිරීමට වත් මට වුවමනා නො වී ය. පිටත ඇති වීමට ගිය කුණාටු ස්‌වභාවය පහ වී ඇති සෙයකි.

මම කාමරය අතුගා පිරිසිදු කළෙමි. මා තූළ ඉතිරි ව තිබූ ශක්‌තිය යෙදවිය හැකි දෙයකට තිබුණේ එපමණ ය. කාමරය තුළ වූ නොයෙකුත් දෑ දෙස නො බලා ම එය කිරීමට මම හැකි පමණ උත්සාහ කළෙමි. සැම දෙයක ම වූයේ ඈ පිළිබද මතකයන් ය. ඡායාරූප, නො සේදූ ඉඳුල් බඳුන්, පොත්පත්, බිත්තිවල එල්වා තිබූ පින්තූර මේ සැම දෙයක්‌ ම ඈ පිළිබඳ මතකය අලුත් කළේ ය. මා හැඳ සිටි කමිසය පවා ඇය මා වෙනුවෙන් මිල දී ගෙන ආ එකකි. මගේ කොණ්‌ඩය පවා ගෙන ආවේ ඇය ගැන මතකයකි. එහි වූයේ මා හිස සේදීමට ගැල්වූ ඇගේ ශැම්පුවල සුවඳ ය.

මම නැවත නිදා ගැනීමට උත්සාහ කළෙමි. ඇය පැමිණීමට පෙර මා නිදා ගැනීමට හුරු ව සිටියේ ඇඳේ වම් පැත්තේය. ඇය පැමිණි පසු ඇය වම් පැත්ත තෝරා ගත් අතර ඇගේ කොණ්‌ඩයේ පැටලීම වළකා ගැනීමට මම අනෙක්‌ පසට හැරී නිදා ගැනීමට හුරු වූයෙමි. දැන් මම නැවතත් වම් පැත්තේ නිදා ගැනීමට උත්සාහ කළ මුත් ඉන්ද පලක්‌ නො විණි. එයින් ම පරාජය බාර ගත් මම නැවත අනෙක්‌ පසට හැරී වැතිර ගත්තෙමි. පහළ වීදියෙන් නැඟෙනා කෑ ගැසීම්වලින් නින්දට බාධා පැමිණිය ද නිඳා ගැනීමේ රුසියකු වූ මම ඒ නො තකාම සුළු මොහොතකින් නිදන්නට වූයෙමි.

අවදි වූ මට දැඩි තිබහක්‌ දැනිණි. මා පහත මාලයට බැස්‌සේ තේ කෝප්පයක්‌ පිළියෙල කර ගැනීමේ සිතිවිල්ලෙනි. තේ බෑගය ඉවත් කිරීමට පෙර ම මම ඊට කිරි වත් කළෙමි. නො සිතා ම මා අනුගමනය කර තිබුණේ ඇය තේ සාදන පිළිවෙළ ම ය. තේ කෝප්පය තොල ගාමින් කාමරය සිසාරා බැලූ මා දුටුවේ ඇය යැමට පෙර දිනයක මිල දී ගෙන ආ රෙදි සේදුම් කුඩු, පිරිසිදුකාරක දියර, සෝයා සෝස්‌, පාන් සහ ඔලිව් තෙල් වැනි බොහොමයක්‌ දැ ය. ඉන්පසු මම ඇයට අයත් වූ විදුලි උපකරණ සිතින් ගණන් කළෙමි. ටෝස්‌ටරය, මයික්‍රොවේව් උදුන, රයිස්‌ කුකරය මේ සියල්ල ඇය ගේ ය. "වැඩි දවසක්‌ නො යා ඉතිරි වෙන්නේ ඔයයි මමයි විතරයි." මම මා සතු එක ම විදුලි උපකරණය වූ කේතලයට කීවෙමි.

* * *

මම රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාත්මක කළෙමි. තොරතුරු දැන ගැනීමේ කිසිදු වුවමනාවක්‌ මා වෙත නො වූවත් නිහඬතාව බිඳ හෙළීමට කුමක්‌ හෝ කළ යුතු ව තිබිණි. දුරස්‌ථ පාලකයෙහි බොත්තම් එකින් එක එබූව ද තිරය මත දිස්‌ වූ කිසිවක්‌ මගේ අවධානයට ලක්‌ නො වී ය. සැම නාළිකාවක ම වූයේ එක ම ආකාරයේ වැඩසටහන් ය. ඒ හැම එකක්‌ ම පාහේ විවිධාකාර ප්‍රවෘත්තිවලින් පිරී පැවතිණි. අතරින් පතර මා අහුලා ගත් දෙයත් රසවත් නො වී ය. එක්‌ තැනෙක භූමිකම්පාවකි. තව තැනක සුළි සුළඟකි. උතුරට වන්නට සැඩ කුණාටුවක්‌ ඇති වී තිබිණි. එහෙන් දකුණට වන්නට ලැව් ගිනි ය. ලෝකයේ කිසිවකු සතුටින් සිටිනා බවක්‌ පෙනෙන්නට තිබුණේ නැත. ඒ මොහොතේ දී ම මගේ ජංගම දුරකථනය නැවත නාද වීමට පටන් ගති. මම එය නො සලකා හැරියෙමි. පැය ගණනාවකට පසු මා නැවතත් නින්දට වැටුණේ කිනම් මොහොතක දැයි මට මතකයක්‌ නැත.

* * *

මා අවදි වන විට රූපවාහිනිය නිහඬ වී තිබිණි. එහි තිරය මත දිස්‌ වූයේ "තාක්‌ෂණික බාධක හේතුවෙන් විකාශය තාවකාලිකව ඇණහිට ඇත" යන පණිවිඩය ය. නාළිකා දුසිමක පමණ එය ම දිස්‌ වූ අතර අනෙක්‌වා සියල්ලේ ම වූයේ මිනිසුන් යාඥා කරනා ආකාරයයි. මට කොහොමට වත් ඉරිදා යාඥා මෙහෙයවල් පෙනෙන්නට බැරි ය.

මම තවත් තේ කෝප්පයක්‌ සාදා ගතිමි. දුරකථනය නැවතත් නාද වීමට පටන් ගත්තේ ය. මඳ වේලාවක්‌ පැකිළෙමින් සිටි මම ඇමතුම ලබා ගතිමි. සම්බන්ධතාව ඉතා දුර්වල වූ අතර මට කිසිවක්‌ නො ඇසිණි.

"හෙලෝ?"

අනෙක්‌ පසින් කතා කරනා යමකු ගේ හඬ කැඩෙමින් මා වෙත ගලා ආවේ ය.

මට කිසිවක්‌ හරි හැටි ඇසුණේ නැත.

"මට ඇහෙන්නේ නැහැ. පස්‌සේ ආයෙමත් කතා කරන්න."

* * *

තවෙකකු කෙරෙහි අප සිත බැඳී යන ආකාරය සැබැවින් ම පුදුමාකාර ය. සමහරු මුලින් ම සිත බැඳ ගත්ත ද තව සමහරකු හට එසේ වන්නේ අනිකා හැර ගියාටත් පසු ව ය. මා අයත් වන්නේ එහි දෙවැනි ගණයට ය. කාට හෝ කතා කිරීමට සිත් වුව ද කා සම්බන්ධ කර ගත යුතු දැයි මට අදහසක්‌ නො තිබිණි. දැන සිටි හැම කෙනකු ම පාහේ අප දෙදෙනා ම හඳුනන්නෝ වූ හ. ඒ මිතුරන් අප දෙදෙනා ගෙන් එක්‌ අයකු ගේ පැත්තක්‌ තෝරා ගත හොත් මගේ පැත්තට සිටිනා කණ්‌ඩායම ෆුට්‌ බෝල කණ්‌ඩායමකට වත් ප්‍රමාණවත් නැත. පහක්‌ වත් මගේ පැත්තට හිඳී දැයි මට දැන් සැක ය. මිතුරුකම් හරියට ම මල් වැනි ය. නිසි ලෙස සාත්තු කර නඩත්තු නො කළේ නම් මල් මෙන්ම මැලැවී පර වී යනු ඇත. මම මට සිටිනා අතිජාත මිතුරන් කිහිප දෙනා පිළිබඳව සිතා බැලුවෙමි. ඔවුන් ගෙන් කෙනකු අමතා සිදු වූ සියල්ල පැවසිය යුතු යෑයි සිතුණ ද මම එය පසුවට කල් දැමීමි.

පරිගණකය ක්‍රියාත්මක කළ මම පැයක්‌ තිස්‌සේ ඇගේ ඡායාරූප සියල්ල මකා දැමුවෙමි. නිවසේ තැන තැන තිබූ අනෙක්‌ ඡායාරූපවලින් ඇගේ රූපය කපා දැමීමට තවත් පැයක්‌ පමණ ගත විය. මේ එකකින් වත් මගේ සිතට සහනයක්‌ අත් වූයේ නැත. දැන්නම් කාට හෝ කතා කළ යුතු බව මම තීරණය කළෙමි.

මගේ ළඟ ම හිත මිතුරා වූ ඩීන් ඇමතීමට අදහස්‌ කළ මම දුරකථනය අතට ගතිමි. අප මාස ගණනාවකින් එකිනෙකා හා කතා නො කළ ද ඉන් කිසි විටෙක අපේ මිතුදමට හානියක්‌ නො වී ය. දුරකථන සම්බන්ධතාව තවදුරටත් සක්‍රිය තත්ත්වයේ නැත. පෙනී යන අයුරින් නම් බාහිර ලෝකය සමඟ සම්බන්ධ වීමට නිවසින් පිටතට ම යැමට සිදු වී ඇති සෙයකි. එහෙත් මා තවමත් ඊට සූදානම් නැත.

මම සැටියෙහි වැතිරුණෙමි. පිටත එක ම ගාලගෝට්‌ටියකි. ජනෙල් වසා තිබියදීත් එහි හඬ මට ඇසිය හැකි ය. අප දෙදෙන එකතු ව අනාගතය ගැන මැවූ කෙළවරක්‌ නැති සිහින දැන් අවසානය කරා පැමිණ ඇත. පිටත වෙඩි හඬක්‌ බඳු ශබ්දයක්‌ ඇසෙනා තුරු ම මම මෙවන් කල්පනා තුළ ගිලී සිටියෙමි. නැවත රූපවාහිනිය ක්‍රියාත්මක කළ ද පුරුදු පණිවිඩය ම දිස්‌ වූ බැවින් මම ඇඳෙහි ගුලි වී නිදන්නට වූයෙමි.

* * *

දොරෙහි සීනුව නාද වන තුරු කොපමණ වේලාවක්‌ නිදා ගත්තේ දැයි මම නො දත්තෙමි. මම අවදි වී ඇඳේ හිඳ ගන්නා විට ද රූපවාහිනි තිරය මත දිස්‌ වූයේ තාක්‌ෂණික ගැටලුවක්‌ හේතුවෙන් විකාශය අත්හිටවූ බව පවසන පණිවිඩයයි. ඒ පිළිබඳව සිතන්නට වත් ම නැවත දොරෙහි සීනුව නාද වූ බැවින් මම දොර වෙත ගොස්‌ එය විවෘත කළෙමි.

"මාර්ක්‌, කොහොම ද ඉතින්?" මම හැකි පමණ හොඳ මුහුණක්‌ මවාගෙන ඇසුවෙමි.

"කොහෙද මනුස්‌සයෝ හිටියේ? දුරකථන ක්‍රියා විරහිත වෙන්න කලින් මම කොයි තරම් ඔයාට කතා කරන්න මහන්සි ගත්ත ද?"

"මම හිටියේ මෙහෙ ම තමයි. කොහේ වත් ගියේ නැහැ."

ඔහු කිසිසේත් ම හොඳින් සිටි බවක්‌ ඔහු වෙතින් පළ නො විණි. ඔහු ගේ නළලතෙහි වූ කැපුමකින් ගලා ආ රුධිරය කැටි ගැසී වේලී තිබිණි. ඔහු ගේ ඇඳුම අපිරිසිදු වූ අතර දින ගණනක්‌ නිදි නො ලැබූ බවක්‌ ඔහු වෙතින් පළ විය.

"ඔයා හොඳින් ද? පොඩ්ඩක්‌ ඇතුළට ඇවිත් පිරිසිදු වුණොත් නරක ද?"

"දැන් ඒකට වෙලාව නෙමෙයි. පුළුවන් ඉක්‌මනින් අපි මෙහෙන් යන්න ඕනි".

වීදියේ පහළින් යටි ගිරියෙන් කෑ ගසන හඬක්‌ ඇසිණි. ඊළඟ මොහොතේ දී ගෙරවීම් හඬක්‌ සමඟ ම කිසියම් ගොඩනැඟිල්ලක්‌ කඩා හැළෙන්නාක්‌ වැනි ශබ්දයක්‌ ද ආවේ ය.

"මේ අහන්න," මම කීවෙමි. "මට එළියට යන්න කැමැත්තක්‌ නැහැ. මොනව ද වෙන්නෙ කියලත් මම දන්නෙ නැහැ. මට එන්න විදිහක්‌ නම් නැහැ."

"මොනව ද මේ කියන්නේ?" ඔහු මා දෙස නො බැලුවේ ය. ඔහු විසල් කර ගත් දෙනෙතින් වීදියේ කෙළවර පිරික්‌සමින් මෙසේ කීවේ ය. "අත්‍යවශ්‍ය ම දේවල් කිහිපයක්‌ බෑගයක දමාගෙන මගේ කාමරයෙ දි මාව මුණ ගැහෙන්න. හරියට ම විනාඩි විස්‌සක්‌ ඇතුළත. නාස්‌ති කරන්න වෙලාවක්‌ නැහැ. මතක ඇති ව පිහියක්‌ අතට ගන්න. හොයාගන්න පුළුවන් ලොකු ම පිහිය.." මා වෙත හැරුණු ඔහු මෙසේ ද කීවේය. "අපි ඉක්‌මනින් නැවත හමු වෙමු."

මගේ උරහිසට තට්‌ටු කළ ඔහු වීදියේ අනෙක්‌ දෙසට දිව ගියේ ය. ඔහු කිසි දිනක එතරම් කලබල වී සිටිනු මා දැක තිබුණේ නැත. මම මොහොතක්‌ ඔහු ගිය දෙස බලා සිටියෙමි. හදිසියේ වැස්‌සක්‌ වහින්නට විය. පළමු වැහි බිඳුව මගේ කම්මුලට වැටිණි. උණුසුමට දැනුණු එය අතින් පිස දමමින් මම නිවස තුළට යැමට හැරුණෙමි. අතෙහි තැවරී තිබුණේ රතු පැහැති උණුසුම් රුධිරයයි.

* * *

එදින රාත්‍රියේ මට නිඳා ගැනීමට නොහැකි විය. පසු ගිය දින කිහිපය නිදා ගනිමින් ම ගත කළ නිසා දෝ නින්ද අහලකට වත් ආවේ නැත. විවිධාකාර හඬවල් අසමින් ම උදෑසන පහට පමණ නින්දට වැටුණු මා අවදි වූයේ එකොළහට පමණ ය. දැඩි වෙහෙසක්‌ දැනුණු අතර තවදුරටත් කාමරයේ විදුලි බුබුළ දැල්වුණේ නැත. මා නින්දට යන විට එය නිවා දැමුවේ නැති බව මට මතක ය. මම මුළුතැන්ගෙය වෙත ඇවිද ගියෙමි. විදුලිය නොමැති බැවින් කේතලයෙන් ද ප්‍රයෝජනයක්‌ නො විණි. මා සතු වූ අවසන් විදුලි උපකරණයත් මට පිටුපා තිබිණි. විසිත්ත කාමරයේ ජනේලයෙන් මම පිටත බැලීමි. අතරින් පතර අහසින් ගිලිහුණු දැවැන්ත උල්කා වැනි ගිනි බෝල හමු වන සියල්ල දවා හළු කරමින් පොළොවට පතිත වනු අඳුර තුළින් ම මම දුටුවෙමි. අනතුරුව ඒවා පොළොව තුළ ගිලී ගියේ ය.

ඈ කිසි දිනෙක නැවත එන්නේ නැත.

මෙතරම් විනාශයක්‌ සිදු වන විට වුව ද මට සිතිය හැකි වූයේ ඇය ගැන ම පමණ ය.

ඇය යන්නට ඇත්තේ ඔහුත් සමඟ ය. කාලකන්නියා....!

(Ewan C. Forbes විසින් රචිත “You've Ruined This For Me” කෙටි විද්‍යා ප්‍රබන්ධයෙහි සිංහල අනුවාදයයි.)
04.මම සහ මම

මගේ නම..... ජෝන්.

ඔව්, ඒ තමයි මම.

මගේ බිරිඳ සහ දියණිය අද මා බැලීමට මෙහි එති.

ඔවුන්..........ඇලිස්‌... සහ ඇනා...

මට සියල්ල පෙනෙනුයේ අඳුරු නො පැහැදිලි බවකිනි. ඔවුන් මා වීදුරු පෙට්‌ටියක්‌ තුළ ගිල්වා ඇත. එය කොළ පැහැති දියරයකින් පිරි පැහැදිලි පෙට්‌ටියකි. මුඛයට සවි කර තිබූ නළය මඟින් මම යන්ත්‍රයක්‌ මෙන් හුස්‌ම ගතිමි.

මගේ දෙපය විනිවිද පෙනෙනසුලු විය. මකුළු දැල් මෙන් පොදි බැඳුණු මාංශපේශීන් අතර දිව යන ශිරා සහ ධමනි මම දුටුවෙමි. වෛද්‍යවරුන් කීවේ මගේ මතකය ටික දිනක්‌ යන තුරු බොඳ වී තිබෙනු ඇති බව ය. එහෙත් ඒ ඉක්‌මනින් යථා තත්ත්වයට එතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

මම.....

සතුටින් සිටිමි. මම මගේ රැකියාවට බොහෝ සේ ඇලුම් කරමි. මම මූල්‍ය උපදේශනය සිදු කරමින් මිනිසුන් හට ජීවිතය සකස්‌ කර ගැනීම සඳහා උදව් කරන්නෙමි.

එහෙත් මා සිටියේ අසනීපයෙනි.

මකුළු දැල තවදුරටත් වර්ධනය වෙමින් පවතී. අලුත් තුවාලයකින් රුධිරය ගලා එන්නාක්‌ මෙන් මගේ සමට යටින් කුඩා රතු පැහැති පැල්ලම් මතු වෙමින් ඇත.

පෙට්‌ටියෙන් පිටත අඳුරු ඡායාවන් කිහිපයක්‌ මට යාන්තමින් පෙනෙයි. ඒ මගේ බිරිඳ ද? ඇගේ පසෙකින් පෙනෙන තවත් ඡායාවකි. කොට දුඹුරු පැහැ කෙස්‌ කළඹින් යුතු යෞවනියක්‌. ඔව් ඒ තමයි මගේ දුව. මට ඒ පිළිබඳව නම් සැකයක්‌ නැත.

මම අසනීපයෙන් පෙළෙමි.

කිසිවකින් නිශේධනය කළ නොහැකි වූ එය මාංශ භක්‌ෂක බැක්‌ටීරියාවකි. එය සෙමින් මගේ ගාත්‍රයෙන් ගාත්‍රයෙහි, අවයවයෙන් අවයවයෙහි ක්‍රියාකාරීත්වය නවතා දැමුවේ ය.

එක්‌වර ම මා වටා වූයේ විශාල ශබ්දයකි. හරියට ම මට දැනුණේ මගේ කන තුළ එන්ජිමක්‌ ක්‍රියා කරමින් තිබෙන්නාක්‌ මෙනි. එය ඉතා වේදනාකාරී වූ අතර ක්‍රමයෙන් අඩු වෙමින් ගොස්‌ දරා ගත හැකි ප්‍රමාණයකට පැමිණියේ ය. පළමුව මගේ හිස්‌ මුදුන, ඉන්පසු මුහුණ හා අවසානයේ දී පපුව දක්‌වා ම දියරයෙන් ඉවතට ඔසවන ලදි.

සංත්‍රාසයට පත් මම මුවට සවි කර තිබූ නළය දෑතින් ග්‍රහණය කර ගතිමි. මට තනි ව ම හුස්‌ම ගැනීමට අවැසි වූ අතර මම නළය වැරෙන් ඇද්දෙමි. අත් වැසුම් ලූ අත් කිහිපයක්‌ මා තරයේ අල්වා ගති. මට දුර්වල ගතියක්‌ දැනිණි. ඔවුහු වේගයෙන් මගේ දෑත් නළයෙන් ඉවතට ඇද ගත් හ.

තත්පර කිහිපයකට පසුව මගේ උදරය තුළ කිසිවක්‌ දැඟලී ය. නළය පිටතට ඇද දමන ලදි. මම අමාරුවෙන් හුස්‌ම ගැනීමට උත්සාහ කළෙමි. ඔවුන් මගේ දෑත් නිදහස්‌ කළ අතර එක්‌ අතකින් මම මුහුණ පිස හැරියෙමි. එහි සැම තැන ම වූයේ ඇලෙනසුලු කොළ පැහැයයි.

ඇලිස්‌ සහ ඇනා මා පසෙකින් සිටිය හ. ඔවුන් ගේ හුරු පුරුදු හඬවල් ඇත්තෙන් ම එහි වූ අතර ඒවා මා සන්සුන් කළේ ය. එහි තව තවත් හඬවල් විය. ඒ වෛද්‍ය හෝලී ඇන්ඩර්සන් හා ඇගේ සහායිකාවයි. ඒ සහායිකාව ගේ නම නම් මට මතක නැත. ඔවුන් සිටියේ මගේ පවුලේ අය සමඟ කථා බහ කරමිනි. මා සඳහා අත්හදා බැලූ ප්‍රතිකාරය සාර්ථක වූ බව ඔවුහු පැහැදිලි කරමින් සිටිය හ.

......... එසේ නම් එය සාර්ථක වී ඇත !

ඇලිස්‌ කුටීරය තුළට නැඹුරු වූවා ය. ඇය මා වැළඳ ගන්නා විට ඇගේ දෑස තුළ රොක්‌ වූ කඳුළු කැට මම දුටිමි. ඇය වෙතින් වහනය වූ ඉතා සියුම් බටර් සමඟ මුසු වූ රස කළ පාන්වල සුවඳක්‌ මම හඳුනා ගතිමි. පෙනෙනා හැටියට මෙහි පැමිණීමට සුළු වේලාවකට පෙර ඇය ගොවි අලෙවිසලෙන් ගත් පේස්‌ටි්‍රයක්‌ ආහාරයට ගන්නට ඇත. එය ඇය ප්‍රිය කළ ආහාරයකි.

දියණිය මා සමඟ සිනාසුණ මුත් මා ළඟට නාවා ය. මම ඇයට කතා කළෙමි. එය ගැඹුරු නමුත් මෘදු මන්ද්‍ර ස්‌වරයක්‌ විය. "ඇනා, මෙහෙ එන්න.."

ඇය මඳක්‌ පසුබට වූවා ය. එහෙත් ඇය ඉදිරියට ආවා ය.

"කොහොම ද අර ඔයා ගේ යාළුවට එහෙම, සනීපෙන් ඉන්නව ද? ඒ ඡේක්‌. මම හරි නේ ද?"

ඈ මාළුවකු මෙන් මුව විවර කර යළි වසා ගත්තා ය. මම සිනාසුණෙමි. "නමුත් එයා නෙමෙයි ඉන්න හොඳ ම කෙනා." මම යළි කීවේ ඡේක්‌ ගේ ස්‌වරය අනුගමනය කරමිනි. "නමුත් එයා ගේ හිත හොඳකමේ නම් අඩුවක්‌ පේන්න නැහැ.." මම හඬනඟා සිනාසුණෙමි.

මට සම්පූර්ණ දත් ඇඳි තිබිණි. ඇත්ත ම ඇත්ත දත්. මේ අලුත් තාක්‌ෂණික උපක්‍රම නම් අපූරු ය. හිස වැනූ ඇනා ලැඡ්ජාවෙන් සිනාසුණා ය. මා සිප වැළඳ ගනිමින් ඇය මෙසේ කීවා ය.

"තාත්තා, මම ඔයාට ආ..."

වදන් පෙළ සම්පූර්ණ කිරීමටත් පෙර වෛද්‍ය හෝලී ඇනාව ඉවතට ඇද ගත්තා ය. ඔවුනට පිට ව යැමට වෙලාව පැමිණ ඇති බව ඇය දැනුම් දුන්නා ය. තවදුරටත් කතා කළ ඇය මා නැවත අර කුටිය තුළට ම යා යුතු බව කීවා ය.

මම.. මම කලබල වුණෙමි. කුමක්‌ හෝ දෙයක්‌ වැරැදී ගොස්‌ ඇත.

මම මගේ දෙපා දෙස බැලුවෙමි. ඒවා නැවතත් යථා තත්ත්වයට පත් වී ඇත. ඇත්තෙන් ම තිබුණාටත් වඩා හොඳ ය. එක්‌ කකුලක වූ පරණ තුවාල කැළල ද අතුරුදන් වී ඇත.

ඇලිස්‌ හා ඇනා පිට ව ගිය පසු වෛද්‍ය හෝලී පැමිණ මා දෙස බැලුවා ය. ඉන්පසු පරිගණක තිර දෙස බලා සිටි ඇය නැවත මා දෙස බැලුවා ය.

සත්තකින් ම මා දෙස නො බැලූ ඇය මා නිරීක්‌ෂණය කරමින් සිටියා ය. එය සීතල, හැඟීම් විරහිත බැල්මක්‌ වූ අතර ඇය මා නිරීක්‌ෂණය කළේ මකුනකු අධ්‍යයනය කරන්නාක්‌ මෙනි. මා ඊට කැමැති නො වෙමි.

ඉන්පසු වදනක්‌ වත් නො දෙඩූ ඇය කාමරයෙන් පිටතට ගියා ය.

ඔවුන් තවමත් මා නැවත අර දියරයෙහි ගිල්වූයේ නැත. මිනිත්තුවෙන් මිනිත්තුව කාලය ගෙවී ගියේ ය. මම හෘද ස්‌පන්දනවලින් ඒවා ගණන් කළෙමි. පෙර දීත් මට නිවැරැදිව මිනිත්තුවකට හෘද ස්‌පන්දන හැටක ශීඝ්‍රතාවක්‌ තිබිණි.

වෛද්‍ය හෝලී නැවත පැමිණියා ය. මෙවර ඇය පැමිණියේ මිනිසකු සිටි කරත්තයක්‌ තල්ලු කරගෙන ය. ඔහු ගේ හිස කෙස්‌ කළු පැහැති විය. මුහුණේ වැඩි ප්‍රමාණය වෙළුම් පටිවලින් ඔතා තිබූ අතර නිකට මත වැවුණු රැවුල් කොට කිහිපයක්‌ තිබිණි. ඔහු ගේ දෙනෙත් සහ කට පමණක්‌ පිටතට පෙනුණු අතර ඔහු තදින් ම අබලන් වී සිටියේ ය. මම ඔහු හඳුනා ගතිමි. ඔහු මා ම විය.

"ඔබ ක්‌ලෝනයක්‌." ඔහු කීවේ ය. "මගේ ක්‌ලෝනයක්‌..."

මට ඒ වන විටත් එය වැටහෙමින් තිබිණි. මගේ දෙපය සම්පූර්ණ ය. තුවාල කැළැල් මැකී ගොසිනි. එය පිළිගැනීමට සූදානම් නො වූ මා මනස එය එසේ නො වන බව පැවසූවත් මා ක්‌ලෝනයක්‌ ම විය යුතු ය.

"සෛලීය ස්‌වයංලිත කාවැද්දීම් ලෙස පවතින මතකය ටිකෙන් ටික ඔබ තුළ නැවත අවදි වන විට ක්‍රමයෙන් මෙය ඔබට පැහැදිලි වෙයි. මට වැළඳී තිබූ රෝගයට ප්‍රතිකර්මයක්‌ නො තිබූ බවත් මතක්‌ වෙයි. ඔබට මතක්‌ වෙයි මගේ පවුලට ස්‌වාමිපුරුෂයෙක්‌, පියෙක්‌ ලබා දීමට මට අවශ්‍ය වූ බව"

"මට ඔබෙන් කරන්න එක ඉල්ලීමක්‌ තියෙනවා." ඔහු මා දෙස මහත් ඕනෑකමින් බලා සිටියේ ය. ඔහු ඉල්ලන්නට යන්නේ කුමක්‌ දැයි මම දැන සිටියෙමි. ඒ මට ද වුවමනා වූයේ එය ම බැවිනි. "ඔයා කවුද කියන කාරණය කවම දා වත් එයාලට හෙළි කරන්න එපා."

මම එය අවබෝධ කර ගතිමි. මට ද අවැසි වූයේ මගේ බිරිඳට සහ දියණියට වඩාත් හොඳ ජීවිතයක්‌ ලබා දීමටයි. ඔවුන් මගේ රෝගය නිසා පීඩා විඳිනු දැකීමට මට ද වුවමනාවක්‌ නැත. "මම ඔබට පොරොන්දු වෙනවා." මම කීවෙමි.

ඔහු මා දෙස රවා බලා හිස වැනුවේ ය.

මා කවදා හෝ දිනක ඔවුනට සත්‍යය හෙළි කරන බව අපි දෙදෙනා ම දැන සිටියෙමු. කවදා හෝ ඔහු නැති දිනයක... එය අපේ අනන්‍යතාවෙහි කොටසක්‌ විය.

"මම නිතිපතා ඇවිත් ඔවුන් ගැන තොරතුරු ඔබට කියන්නම්." මම ඔහුට පැවසූයේ පරෙස්‌සමින් වචන තෝරා බේරා ගනිමිනි. මම කිසි විටෙක "අපි" යන වචනය භාවිත නො කිරීමට පරෙස්‌සම් වීමි.

සැනසුම් සහගත බවක්‌ පළ කළ ඔහු සිනාසුණේ ය. "මම ඒකට කැමැතියි." ඔහු පිළිතුරු දුන්නේ ය.

නමුත් ඔහු ගේ දෑස තුළ ක්‌ෂණික දීප්තියක්‌ දැල්විණි.

එය ඊර්ෂ්‍යාව බව මම දැන සිටියෙමි. මා එයට බිය වූයේ මා ක්‌ලෝනයක්‌ පමණක්‌ වූ බැවිනි. එහෙත් මට ඔහු ගේ රෝගය නො තිබිණි.

ඔහු වන්නට තිබූ අයුරින් ම මා ද යම් දිනයක වෙනස්‌ වනු ඇත. එවිට තවදුරටත් අප එක හා සමාන නො වනු ඇත. එක්‌ ක්‌ලෝනයක්‌ ඇති ඕනෑ ම තැනක ඒ හා සමාන තවත් ක්‌ලෝනයක්‌ ද තිබිය හැකි ය.

"මම ඔබට අවශ්‍ය ඕනෑ ම දෙයක්‌ කරන්නම්." ..එනිසා මම පැවසීමි.

(Kenneth S. Kao විසින් රචිත "‘Selfless" කෙටි විද්‍යා ප්‍රබන්ධයෙහි අනුවාදයකි.)





03.දැවුරුද්ද

දහය

තාත්තා දොර අසල දී වෙන දා මෙන්ම මට සුබ පැතුවේ ය. සැලෙන ස්‌වරයකින් ඔහු තවදුරටත් මෙසේ ද කීවේ ය. "ඒමී, ඇවිත් බලන්න කෝ කවුද ඇවිත් ඉන්නෙ කියලා.."

මෙසේ කියමින් ම ඔහු දොරකඩින් මෑත් විය.

ඇය නිවස පුරා එල්ලා තිබූ පින්තූරවල සිටියාක්‌ මෙන්ම බිඳකුදු නො වෙනස්‌ ව සිටියා ය. කළු පැහැති දිගු කෙස්‌ කළඹ, දුඹුරු පැහැ දෙනෙත, සියුමැලි පැහැපත් සම... ඒ සියල්ල ම එයාකාරයෙන් තිබිණි. එහෙත් මට ඇයව හැඟුණේ අමුත්තකු මෙනි.

ඊළඟට කළ යුත්තේ කුමක්‌ දැයි සිතා ගත නොහුණු මම පොත් බෑගය පසෙක තැබුවෙමි. එහෙත් ඇය මා වෙත ඇවිද ආවා ය. පහතට නැඹුරු වූ ඇය මා බදා වැළඳ ගත්තා ය. ඇය ගේ ග්‍රහණය ක්‍රමයෙන් දැඩි වූ අතර ඇය වෙතින් සැර බෙහෙත් සුවඳක්‌ හමා ආවේ ය.

ඇයට වැළඳී තිබූ රෝගය සුව කළ නොහැකි යෑයි වෛද්‍යවරුන් පැවසූ බව තාත්තා මට කියා තිබිණි. ඇයට ජීවත් වීමට ඉතිරි ව තිබුණේ වසර දෙකක කාලයක්‌ පමණි.

"...ඔයා ගොඩක්‌ ලොකු වෙලා.." ඈ කියූ අතර ඇගේ සුසුම්වල උණුසුම මගේ ගෙලෙහි දැවටිණි. ඇගේ ගෙළ වටා දෑත් යෑවූ මම ඇයව තදින් වැළඳ ගතිමි.

ඇ මට තෑගි රැසක්‌ ගෙනවිත් තිබුණා ය. ගවුම මට කුඩා වැඩි වූ අතර එහි වූ පොත්වලින් බොහොමයක්‌ පැරැණි විය. ඇය ගමන් ගත් වේග යානයෙහි කුඩා අනුරුවක්‌ ද ඒ අතර තිබිණ.

"...මම හිටියේ ගොඩාක්‌ දිග චාරිකාවක.." ඈ කීවා ය. "...යානය කොයි තරම් වේගයෙන් ගමන් කළා ද කියනව නම් ඒ ඇතුළේ කාලය ගත වුණේ හරි ම හෙමින්.... ගත වුණු මුළු කාලය ම මට දැනුණේ හරියට මාස තුනක්‌ වගේ...."

ඒ වන විට තාත්තා මට ඇගේ චාරිකාව පිළිබඳව සියල්ල හෙඳින් වටහා දී තිබිණි. ඇයට අවැසි වී තිබුණේ මා හොඳින් වැඩෙනු දැක බලා ගැනීමයි. ඉතිරි ව තිබූ අවුරුදු දෙක දිගු කර ගැනීමට ඇයට කාලය රැවටීමට සිදු වූ අතර ඒ සඳහා ඇය මේ විකල්පය තෝරා ගත්තා ය. මම ඒ සියල්ල දැන සිටියත් මට ඇයව නැවැත්වීමට නො සිතිණි. එතරම් ම ඇය කතා කරනු අසා සිටීමට මම ආශා කළෙමි.

"...ඔයා මේ තෑගිවලට කැමැති ද කියලා මම දන්නෙ නැහැ..." ඇය කීවේ මා වටා තිබූ තෑගි දෙස බලමිනි. ඇත්තෙන් ම මා නො වනා වෙනත් කුඩා දැරියකට, ඇගේ සිතේ ජීවත් වූ දියණියට සරිලන එම තෑගි පිළිබඳව ලැඡ්ජාවට පත් වූ බවක්‌ ඇය වෙතින් දිස්‌ විය.

ඒ වන විට මට දැඩි ව ඕනෑ කර තිබුණේ ගිටාරයකි. එහෙත් තාත්තා සිතුවේ මා එයට කුඩා වැඩි බව ය.

මා වයසින් වැඩී සිටියා නම් ඒ තෑගිවලට මා ඇලුම් කරනා බව ඈට පවසන්නට ඉඩ තිබිණි. එහෙත් කුඩා වියෙහි වූ මට බොරුවක්‌ කියා ඈ සැනසීමට තරම් අවබෝධයක්‌ තිබුනේ නැත.

ඇය කෙතරම් කලක්‌ අප සමඟ නැවතී සිටිනවා දැයි මම ඇගෙන් ඇසුවෙමි.

එයට පිළිතුරු දෙනු වෙනුවට ඇය මෙසේ කීවා ය. "...අපි මුළු රැය ම ඇහැරලා ඉඳිමු. තාත්තා ඔයාට කරන්න එපා කියාපු හැම දේ ම කරමු...."

ඉතින් අප දෙදෙනා එක්‌ ව පිටතට ගිය අතර ඒ ගමනේ දී ඇය මා හට ගිටාරයක්‌ ද මිල දී ගත්තා ය. අවසානයේ දී උදෑසන හතට පමණ මම ඇගේ උකුළ මත හිස තබාගෙන නින්දට වැටුණෙමි. ඒ රාත්‍රිය ඉතා මනරම් විය.

මා අවදි වන විට ඇය යන්නට ගොසිනි.

* * *

දහ හත

"....මොන එහෙකට ද ඔයා ආයෙමත් මෙහෙ ආවේ?.."මම ඇගේ මූණට ම දොර වසා දැමුවෙමි.

"....ඒමී...." තාත්තා දිව ගොස්‌ නැවත දොර හැරියේ ය. ඇය තවමත් පින්තූරයේ සිටි අයුරින් ම පස්‌ විසි වියෙහි පසු වූවා ය. තාත්තා ඇගේ පසෙකින් සිටින විට ඔහු කෙතරම් මහලු වී ඇති දැයි මට පසක්‌ වූයේ ය.

දියණියකට මවක ගේ සෙනෙහස,

රැකවරණය අවැසි ම මොහොතක දී පවා මට සිටියේ ඔහු පමණ ය. එසේ තිබිය දීත් සැම අවුරුදු හතකට ම වරක්‌ පමණක්‌ සුර දූතියක්‌ මෙන් හිටිවන ම මගේ ජීවිතය තුළ ප්‍රාදූර්භූත වීමට ඇයට කිසිදු අයිතියක්‌ නැත.

ස්‌වල්ප මොහොතකට පසු ඇය මගේ නිදන කාමරයේ දොරට සෙමින් තට්‌ටු කළා ය. ඇඳෙහි වැතිර සිටි මම මුණිවත රැකීමි. ඇය ම දොර හරගෙන කාමරයට ඇතුළු වූවා ය. ආලෝක වර්ෂ ගණනාවක්‌ ගෙවා මෙහි පැමිණි ඇය නැවැත්වීමට එහි වූ ප්ලයිවුඩ් දොර කෙසේ වත් ප්‍රමාණවත් නො වූ සැටියෙකි. ඇය මා බැලීමට පැමිණීම පිළිබඳව සියුම් සතුටක්‌ මා තුළ වුව ද ඒ සමඟ ම මම එයට වෛර කළෙමි.

"...මේක නම් හරි ම ලස්‌සන ඇඳුමක්‌.." ඇය කීවා ය. දොර පිටුපස එල්ලෙමින් තිබුණේ මා පාසල් උත්සවයක්‌ සඳහා ඇඳි ගවුමකි. මගේ ඉතිරි කිරීම්වලින් භාගයකටත් වඩා වැය කොට මිල දී ගත් එය සැබැවින් ම ශෝබන විය. එහෙත් එහි ඉන අසලින් ඉරී ගොස්‌ තිබුණේ මගේ ම වරදින් ය.

ටික වේලාවකින් මම නැඟිට ඇඳ මත හිඳ ගතිමි. ඇය මගේ පුටුවෙහි හිඳගෙන මසමින් සිටියා ය. ඇය හැඳ සිටි රිදී පැහැති ඇඳුමින් තීරුවක්‌ කපා ගත් ඇය ගවුමේ ඉරුණු තැන මත පරෙස්‌සමින් එළලූවා ය. පිළිසකර කළ පසු එය නැවතත් පෙර පරිදි ම ඉතා ශෝබන විය.

"...මම ගොඩාක්‌ පුංචි කාලෙ දි ම මගේ අම්මා නැති වුණා...." ඇය කීවා ය. "...මට කවදා වත් ඇයව දැන හඳුනා ගන්න ඉඩක්‌ ලැබුණෙ නැහැ. ඉතින් මම හිතා ගත්තා මම ඊට වඩා වෙනසක්‌ කරනවා කියලා...."

ඇයව වැළඳ ගැනීම අමුතු දෙයක්‌ විය. ඇය වයසින් මෙන්ම පෙනුමින් ද දිස්‌ වූයේ මගේ ම වැඩිමහල් සොහොයුරියක්‌ මෙනි.

* * *

තිස්‌ අට

මම අම්මා සමඟ උද්‍යානයෙහි වාඩි වී සිටියෙමි. කුඩා ඩෙබී ළදරු කරත්තය තුළ ම නින්දට වැටී සිටියා ය. ඇඩම් කෑ ගසමින් අනෙක්‌ කුඩාවුන් සමඟ දුවමින් සෙල්ලම් කරමින් සිටියේ ය.

"මට ස්‌කොට්‌ව අඳුනා ගන්න වත් අවස්‌ථාවක්‌ ලැබුණෙ නැහැ." ඇය සමාව අයදින ස්‌වරයකින් කීවා ය. "පසුගිය වතාවේ මම එන කොට ඔයා හිටියේ විශ්වවිද්‍යාලයේ. ඒත් එයා එක්‌ක ඇසුර පටන් අරගෙන වත් තිබුණෙ නැහැ නෙ ඒ කාලෙ දි"

ඔහු හොඳ කෙනෙක්‌. ඒත් අපිට වෙන් වෙන්න සිද්ධ වුණා. මම හැමවිට ම කීවේ එයයි. එලෙස කීම වඩාත් පහසු විය. මම හැම කෙනෙකුට මත්, මගේ සිතටත් එලෙස බොරු කියා ගතිමි.

එහෙත් ඒ බොරුව මට ම ඇති වී තිබිණි.

"එයා මහ එපා කරපු කෙනෙක්‌. මට ඒතක තේරෙන්න අවුරුදු ගානක්‌ ගියා."

"හ්ම්.. ආදරය එහෙම තමයි. සමහර වෙලාවට අමුතු දේවල් කරන්න අපව පොලඹවනවා." ඈ කීවා ය.

ඒ වන විටත් ඇගේ වයස අවුරුදු විසි හයක්‌ පමණි. ඇය ගේ වයසේ දී මා ද ජීවත් වූයේ බලාපොරොත්තු රැසක්‌ පොදි බැඳගෙන ය. ඒත් දැන්.... ඇයට ඇත්තෙන් ම මා ගත කරන ජීවිතය අවබෝධ කර ගත හැකි ද?

තාත්තා මිය ගිය ආකාරය පිළිබඳව ඇය විමසුවා ය. ඔහු ඉතා ශාන්තව අප අතරින් සමුගෙන ගිය බව මම ඈට කීවෙමි. එහෙත් එය ඇත්ත ම නො වී ය. ඇය ගේ මුහුණට වඩා මගේ මුහුණ රැළි වැටී තිබිණි. එහෙත් මට හැඟුණේ මා ඇයව රැක බලාගත යුතු බවයි.

"අපි තවත් ඔය දුක හිතෙන දේ ගැන කතා නො කර ඉමු." ඇය කීවා ය. ඇයට එසේ කියා සිනාසීමට හැකි වීම පිළිබඳව මා කෝප වුවත් ඇය මා සමඟ සිටීම පිළිබඳව සතුටක්‌ ද මා තුළ විය.

අනතුරුව අපි රෑ බෝ වන තුරු කුඩා ඩෙබී ගැන කතා කරමින් ඇඩම් සෙල්ලම් කරනා අයුරු බලා සිටියෙමු.

* * *

අසූව

"ඇඩම්?" මම කතා කළෙමි. රෝද පුටුව හරවා ගැනීම පවා මට අපහසු විය. දැන් මගේ දෑස්‌ තුළ හැම දෙය ම පෙනෙන්නේ අඳුරුවට ය. ඒ ඇඩම් වන්නට නොහැකි ය. ඔහු, අලුත උපන් සිය පුතු නිසා මේ දිනවල කාර්ය බහුලව සිටියේ ය. එසේ නම් සමහර විට ඒ ඩෙබී වන්නට ඇත. ඒත් ඇය කිසි දිනෙක මෙසේ මා බැලීමට පැමිණ නැත.

"මේ මම...." ඇය මා ඉදිරිපිට දණ ගසමින් කතා කළා ය. මම හොඳින් බැලීමි. ඇය හැම දාමත් සිටි අයුරින් ම එහි සිටියා ය.

එහෙත් බෙහෙත් ගන්ධය වෙනදාටත් වඩා තදින් ඇය වෙතින් හැමූ අතර ඇගේ දෑත් වෙව්ලනු මට දැනිණි.

"ඔයා දැන් කොයි තරම් කාලයක්‌ ගමන් කරමින් හිටිය ද?" මම ඇසුවෙමි. "මම ඇහුවේ පටන් ගත් දා ඉඳල ම..."

"..අවුරුදු දෙකක්‌...." ඈ කීවා ය. "මේ පාර මම ආපහු යන්නේ නැහැ."

එය ඇසීමෙන් මම දුක්‌ වීමි. එහෙත් ඒ හා මුසු වූ සතුටක්‌ ද එහි තිබිණි.

"ඒ ගමන ගිය එක වටිනව ද?"

"මට අනෙක්‌ අම්මලා දරුවො ළඟ ඉන්නවට වඩා අඩුවෙන් තමයි ඔයා ළඟ ඉන්න ලැබුණෙ. ඒත් මම එයාල දකිනවාට වඩා කාලයක්‌ ඔයාව දැක ගත්තා.."

ඈ පුටුවක්‌ ගෙන මා පසෙකින් හිඳ ගත්තා ය. ඇගේ උරහිස මත හිස තබා ගත් මට මා යළි කුඩා වියට ගියාක්‌ මෙන් දැනිණි. මා නැවත අවදි වන විට ඇය එහි ම සිටිනු ඇත යන සතුටින් යුතු ව මම නින්දට වැටුණෙමි.

(සමාප්තයි)


02.මළවුන් අතර

ක්‌ලාරා හා එරික්‌ සිටියේ විසිත්ත කාමරය පුරා නටමිනි. එහෙත් සංගීතය ඇරඹුණේ කුමන අවස්‌ථාවේ දී ද යන්න ක්‌ලාරා නො දත්තා ය. ඔවුන් නටන්නට පටන් ගත්තේ කෙසේ දැයි යන්න වත් ඇයට මතක නැත. අඩු ම තරමින් නිවසට පැමිණි ආකාරය වත් ඇයට මතක තිබුණේ නැත. එහෙත් දැන් ඔවුන් සිටින්නේ රූපවාහිනිය හා සෝපාව අතර වූ බුමුතුරුණ මත ඉටිපහන් එළියේ මන්දගාමී නර්තනයක ය. ක්‌ලාරාට දැනුණේ ඔවුන් සදාකාලය පුරාවට නටමින් සිටියාක්‌ මෙනි. එරික්‌ ගේ උරහිස මතින් අත තබා දෙනෙත් අඩවන් කළ ඈ රවුමට පා වී ගියා ය.

"ක්‌ලාරා..." එරික්‌ ඇමතුවේ ඈව තවත් ළං කර ගනිමිනි. "අපි කතා කළ යුතු දෙයක්‌ තියෙනවා. ඒක ගොඩාක්‌ වැදගත්. මම කලිනුත් මේක කියන්න උත්සාහ කළා."

ඔහු ගේ ස්‌වරය කෙතරම් මෘදු හා පහත් වූයේ ද යත් ඇයට එය ඇසුණේ වෙනත් ලෝකයක සිට එන්නාක්‌ මෙන් යාන්තමිනි. දෑස්‌ වසාගත් වන ම සිටි ඇය පා වී යමින් ම "හ්ම්...?" කීවා ය.

"...ඔයාට මතක ද ජීනාත් එක්‌ක අර සන්දර්ශනයට ගිය දවස?...."

ක්‌ලාරා එක්‌ වර ම දරදඬු වූ අතර එහි තවදුරටත් පා ව යැමක්‌ නො වී ය.

* * *

දෑස විවර කළ ඇය වෙව්ලමින් යහන මත හිඳගත්තා ය.

දුටු සිහිනය ඇගේ සිත අවුල් කර තිබිණි. එහෙත් ඇයට ඒ කුමක්‌ දැයි මතකයක්‌ නො වී ය. මෑතක දී සිට ඇය මේවා බොහොමයක්‌ දැක තිබිණි. අංශු මාත්‍රයක්‌ වත් මතකයේ නො රැඳී අතුරුදන් වන මේ සිහින මධ්‍යම රාත්‍රියේ දී ඇයව නින්දෙන් ඇහැරවන්නේ ය.

ඇය පසෙකින් සිටි ජැක්‌ දෙස බැලුවා ය. මුව විවර කර ගත් වන ම නිදන ඔහු ගේ ගෙරවිල්ල නිසා නින්ද අහලකට වත් එන්නේ නැත. ඇය සෙමින් ඔහු ගේ නහය මිරිකුවා ය. ඇගේ අතට පහරක්‌ ගැසූ ඔහු මිමිණූ කිසිවක්‌ ඇයට නො තේරිණි. "...ඔයා ගොරවනවා. මට නිදාගන්න බැහැ...." ඇය ඔහුට කීවා ය. ඇඳේ අනෙක්‌ පසට පෙරැළී ගිය ඔහු නැවතත් ගොරවන්නට විය.

රැයේ ඉතිරි කාලයත් ක්‌ලාරා අවදියෙන් ම ගත කළා ය.

* * *

උදෑසන ආහාරය ගන්නා අතරතුර දී ක්‌ලාරා කතා කළා ය. "මම හීනයක්‌ දැක්‌කා. වෙන දා වගේ මයි. මොනවත් ම මතක නැහැ."

කෝපි කෝප්පය උගුරට දෙකට හිස්‌ කළ ජැක්‌ මේසයෙන් නැගිට්‌ටේ ය. "ඉක්‌මනට යන්න ඕනි. නැත්නම් කෝච්චියට වෙලාවට යන්න බැරි වෙනවා."

ක්‌ලාරා හිස ඔසවා දොරට හේත්තු වී සිටි ටාන්‍යා දෙස බැලුවා ය. ටාන්‍යා ඇගේ පළමු විවාහයේ දියණිය වූ අතර දැන් ඇය නව යොවුන් තරුණියකි.

ජැක්‌ට යැමට ඉඩ දීමට දොරකඩින් මෑත් නො වූ ටාන්‍යා ඔහු දෙස බැලුවේ වත් නැත. වේගයෙන් ඇගේ ඇඟේ හැපෙමින් පිටතට ගිය ඔහු හැරී කෝපයෙන් ක්‌ලාරා දෙස බැලුවේ ය. "මේ ඔක්‌කොම ඔයා ගේ වැරැද්ද" ඔහු ගේ බැල්ම ක්‌ලාරා අවබෝධ කර ගත්තා ය. ටාන්‍යා දිගට ම ඉදිරියේ වූ බිත්තිය දෙස ම බලා සිටියා ය.

මේසය මත තිබූ දීසි සියල්ල එකතු කරගෙන සෝදන බේසම වෙත ගිය ඇය ඒවා එහි අතහැරියා ය. අනතුරුව කෝපයෙන් ඒ මතට සබන් වතුර බේසම හැළුවා ය.

"ස්‌ලාං" හඬින් ඉදිරි දොර වැසෙන තුරු ඔවුන් දෙදෙනා ම වදනක්‌ වත් නො දොඩා සිටිය හ. කාමරය හරහා ගිය ඇය මව ගේ පසෙකින් සිට ගත්තා ය. "ඔයා දන්නව ද, මටත් හීන පේනවා." ඇය කීවා ය. "ඒ හීනවල මම මැරිලා. ඇත්තට ම කියනවා නම් මම ඉපදිලා වත් නැහැ. මම ඇත්තට ම ඇත්ත නෙමෙයි වගේ."

ක්‌ලාරා දීසි එකින් එක සේදීමට පටන් ගත්තා ය. "ඔයාට උදේට කන්න ඕනි මොනව ද?"

"ඔයා මම කියන දේවල්වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔයාට ඒකට උවමනාවක්‌ වත් නැහැ නේ ද?"

ක්‌ලාරා දියණිය දෙස බැලුවා ය. "මම ඇහුම්කන් දෙනවා. ඒත් මම කැමැති නැහැ ඔයා ඔය කියන දේවල්වලට. තවම ඔයාට අවුරුදු දහ හතරයි. ඔයා හීන දකින්න ඕනි ඔයා ගේ අනාගතය ගැන මිස මරණය වගේ දේවල් ගැන නෙමෙයි."

"නෑ ඔයා ඇහුම්කන් දෙන්නේ නෑ" දියණිය කීවා ය. "මම ඔයාට යමක්‌ කියන්නයි උත්සාහ කරන්නේ. ගොඩක්‌ වැදගත් දෙයක්‌. ඒත් ඔයා ඒක අහන්න සූදානම් නැහැ."

"ඔයා මොනව ද මේ කියන්නේ? මට තේරෙන්නේ නැහැ."

"නෑ තමයි. මම ඒක දන්නවා." ටාන්‍යා ඉවතට ඇවිද යන අතරතුර කීවා ය

* * *

ක්‌ලාරා කිහිප විටක්‌ ම ටාන්‍යා ගේ කාමරයේ දොරට තට්‌ටු කළ ද පිළිතුරක්‌ නො ලැබිණි. දොරෙහි අගුල කරකැවූ ඇය තල්ලු කර දොර විවර කළා ය. ජනේලය වසා තිබූ අතර ජනෙල් තිර පහළට ඇද තිබිණි. දෑස්‌ වසාගෙන ඇඳුම් මාරු නො කර ම ටාන්‍යා ඇඳෙහි වැතිර සිටියා ය.

"ටාන්‍යා..." ඇ සෙමින් කතා කළා ය. "ටාන්‍යා...."

කාමරය තුළ වූ මළානික එළියෙන් ටාන්‍යා දිස්‌ වූයේ බෝනික්‌කකු මෙනි. හරියට ම ඇඳුම් සාප්පුවේ ඇඳුම් අන්දවා තිබූ ඉටි බෝනික්‌කා මෙනි. තද බවත් සමඟ මුසු වූ හිස්‌ බවක්‌ ද එහි තිබිණි. ඇඳ වෙත ගිය ක්‌ලාරා දියණිය ගේ කම්මුල අතගෑවා ය. ඇයට සීතල හා කුඩු මෙන් ගතියක්‌ දැනුණු අතර "දුව, ඔයා හොඳින් ද?"යි ඇසුවා ය.

"මට මහන්සියි." ටාන්‍යා කෙඳිරුවා ය.

"එළිය හරි ම ලස්‌සනයි. ටිකක්‌ හුළං වැදෙන්න එළියට ගියොත් නරක ද?"

ඇඳේ එහා කෙළවරට පෙරැළී ගිය ටාන්‍යා පොරෝනාවෙන් හිස වසා ගත්තා ය.

* * *

ඒ හැන්දෑවේ ඔවුහු කොහේ හෝ ගොස්‌ එමින් සිටිය හ. ඒ කොහේ ද යන්න පිළිබඳ මතකයක්‌ ඇයට නො වූ අතර එය බොඳ වී ගොසිනි. නිවසට පැමිණි පසු එරික්‌ ඇය පසෙකින් වාඩි වී ඇගේ දෑත ම අල්වා ගත්තේ ය. "ක්‌ලාරා, මම කාලයක්‌ තිස්‌සේ ඔයාට කියන්න උත්සාහ කළ දෙයක්‌ තියෙනවා. දැන් ඔයා මේක අහන්න ම ඕනි වෙලාව ඇවිත්."

"මොකක්‌ ද? මම හැම වෙලාවෙ ම ඇහුම්කන් දෙනවා. හා නැද්ද?"

"නැහැ ක්‌ලාරා ඔයා ඇහුම්කන් දෙන්නේ නැහැ." එරික්‌ නොරිස්‌සුම්සහගත ව කීවේ ය. "ඒත් දැන් ඔයා ඇහුම්කන් දෙන්නයි යන්නේ."

"හා... කියන්න"

"ඔයා ටිකක්‌ ආපහු හිතලා බලන්න ඕනි ක්‌ලාරා. මතක්‌ කරන්න ඕනි ඔයාට අවුරුදු දහ හතේ දී අගෝස්‌තු මාසයේ දවසක රාත්‍රිය ගැන."

"මොනව ද ඔයා මේ කියන්නේ? මට දැන් තමයි දා හත."

"ඔයා ජීනාත් එක්‌ක ඇවිදින්න ගියා. ඔයාල සන්දර්ශනයක්‌ බලන්න ගිහින් ආපහු එන්න ඔයා බස්‌ එකකට නැග්ගා. ඔයාට මතක ද?"

ක්‌ලාරා රවාගත් අතර හිස දෙපසට වැනුවා ය.

"උත්සාහ කරන්න ක්‌ලාරා. මතක්‌ කරන්න. ඒක වැදගත්. ඔයා බෙල්ටන් සහ හැමිල්ටන්ල ගෙ සාප්පුව ළඟ දි බස්‌ එකෙන් බැස්‌සා. ඔයාට ගෙදරට එන්න පහු කරන්න තිබුණේ තවත් සාප්පු දෙකක්‌ විතරයි."

ක්‌ලාරා දෑත් ඔහු ගෙන් මුදා ගැනීමට උත්සාහ කළා ය. "මට ඉන්න දෙන්න එරික්‌. ඔයා මට රිද්දනවා."

* * *

දහඩියෙන් නැහැවෙමින් ඇය ඇඳ මත හිඳ ගත්තා ය. ඇඳේ අනෙක්‌ පස බැලූ ඇය දුටුවේ එය හිස්‌ ව ඇති බවකි. "ජැක්‌?" ඇය මිමිණුවා ය. "ජැක්‌?" එවර ඇය කතා කළේ තරමක්‌ ඉහළ හඬකිනි. ඇඳෙන් නැගිට ලෝගුව ලා ගත් ඇය පිටතට පැමිණියා ය. එය 1971 උණුසුම් අගෝස්‌තු සැන්දෑවක්‌ විය.

ක්‌ලාරා කන්ණාඩි මේසය ඉදිරිපිට වාඩි වී ඇහි බැමි පාට කරමින් සිටිනා අතරතුර ජීනා ඇඳුම් එකින් එක ඇඳ හැඩ බලා ගලවා දැමුවා ය. අවසානයේ දී ඇය තීරණය කළේ දිගු ගවුමක්‌ සහ ලේස්‌ සපත්තු අඳින්නට ය.

දුඹුරු පැහැති දිගු කලිසමකින් හා එළු හම් කබායකින් සැරසුණු ක්‌ලාරා රිදී සීනු එල්ලෙන අත් පළඳනාව පැළඳ ගත්තා ය.

* * *

ඇය බසයෙන් බහින විට රෑ බෝ වී තිබිණි. ප්‍රධාන වීදිය හරහා අනෙක්‌ පසට ගමන් කළ ඇයට නිවසට යැමට පසු කිරීමට තිබුණේ තවත් සාප්පු දෙකක්‌ පමණි. එම දුර පසු කර ඇය ඕනෑ තරම් ගමන් කර තිබූ නමුත් මේ රාත්‍රියේ දී එය අමුතු වූ අතර වීදියේ වඩා තර්ජනාත්මක බවක්‌ රැඳී තිබිණි. ඈ අත බැඳ තිබූ සීනුවලින් නැඟුණු හඬ වීදිය පුරා දෝංකාර නැංවූ අතර ඇය හඬ නැඟීSම වැළැක්‌වීමට ඒවා අනෙක්‌ අතින් අල්වා ගත්තා ය. වීදිය දැඩි නිහඬතාවක ගැලී තිබූ අතර කවරකු හෝ බලා සිටින්නේ ය යන හැඟීම ඇගේ සිත නොසන්සුන් කළේ ය.

හැම්ලින් පසු කරනවාත් සමඟ ම වීදියේ වූ නිහඬතාව බිඳී ගියේ මෝටර් රථයක දොරක්‌ විවර වන හඬිනි. එයින් මිනිසුන් දෙදෙනකු පිටතට පිනූ අතර ඇය දුවන්නට පටන් ගත්තා ය. එකෙණෙහි ම සියල්ල අඳුරු වී ගියේ ය.

* * *

ඇය සිටියේ මෝටර් රථය පදවමිනි. ඇගේ පසෙකින් මඟී අසුනේ වාඩි වී සිටියේ ටාන්‍යා ය. කාරයට ගොඩ වූ ආකාරය වත් ඇගේ මතකයේ නො වූ අතර ඇගේ පිට දිගේ වෙව්ලීමක්‌ ගලා ගියේ ය. මෙතරම් දුරක්‌ කාරය පදවාගෙන පැමිණියේ කෙසේ දැයි ඇය නො දත්තා ය.

සුක්‌කානම ඉදිරිපස ඈ සිටින්නට ඇති මුළු කාලය ම ඇයට දැනුණේ නිදා සිටියාක්‌ මෙනි. කාරය වෙනත් රථයක ගැටීමට පවා ඉඩ තිබූ බව සිහි වීමෙන් ඇ නැවත වෙව්ලා ගියා ය.

"ඔන්න අපි එතනට ම ආවා." ඇය කීවේ හැම්ලින් වීදියට රිය හරවමිනි. ඇය ගේ මවුපියන් ජීවත් වන නිවස තිබුණේ එහි ය.

* * *

ඇය කිහිප විටක්‌ ම සීනුව නාද කළා ය. පිළිතුරක්‌ නැත.

"දොර අගුලු දාලා නැහැ" ටාන්‍යා එය තල්ලු කර විවෘත කරමින් කීවා ය.

එය මුළුමනින් ම හිස්‌ ව තිබිණි. බිත්තිවල කුණු බැඳී තිබූ අතර ඝන දූලි තට්‌ටුවකින් හා වියළි කොළවලින් පොළොව වැසී තිබිණි. "මට මේක තේරෙන්නේ නැහැ" ක්‌ලාරා කීවේ ඇය පිටුපස සිටි ටාන්‍යාට ය. "මේගොල්ලො කොහේ ගිහින් ද?" කියමින් ටාන්‍යා වෙත හැරුණු ඇය දුටුවේ තමන් එහි තනි ව ම සිටගෙන සිටිනා බව ය.

* * *

පිටුපස ආලින්දයේ දොර පඩිය මත දී ක්‌ලාරාට ඇයව හමු විය.

ක්‌ලාරා කුඩා දැරියක ව සිටිය දී මේ පඩිය මත පැය ගණන් හිඳ සිටින්නට ඇත. ඇය හුළඟේ හඬට කන් දෙමින්, අසල්වැසියන් දෙස බලමින් ඒ කාලය ගත කළා ය. එහෙත් දැන් ඒ සියල්ල තුළ තිබුණේ හිස්‌ බව ය. අසල්වැසි නිවස, පටුමඟ හා හැම ජනේලයක්‌ ම හිස්‌ ය. නිහඬ බව පමණකි. "මොකක්‌ ද මේ වෙලා තියෙන්නේ.. මට නම් තේරෙන්නේ නැහැ" ඇය කීවා ය. "මේ හැමෝ ම කොහේ ගිහින් ද?"

"මට මේක ඇති වෙලා" ටාන්‍යා ඇයට ම කියා ගත්තා ය. "මේ හැම ගමනක්‌ ම, හැම සෙලවීමක්‌ ම, මේ හැම මවාපෑමක්‌ ම මට නම් ඇති වෙලා තියේන්නේ."

"ටාන්‍යා, ඔයාට මොනවා හරි ප්‍රශ්නයක්‌ ද? එහෙනම් මට කියන්න දරුවෝ.."

ටාන්‍යා ඇයට මුහුණ ලා සිට ගත්තා ය. "ඔයාට මම වෙනුවෙන් මොනවා හරි දෙයක්‌ කරන්න ද ඕනි. ඒක කරන්න හරි ම ලේසියි. මට යන්න දෙන්න. දැන් වත් ඔය විකාරෙන් ඇහැරලා ඇත්තට මුහුණ දෙන්න" ඇය මහ හඬින් කෑගැසුවා ය. "කරුණාකරලා දැන් වත් ඇහැරෙන්න ෘ "

* * *

ක්‌ලාරා පිටුපස දොර පඩිය මත උළුවස්‌සට වාරු වී සිටියා ය.

ඇගේ බාහුවට අත තබා සෙලවූ එරික්‌ "ඇතුළට එන්න"යි කීවේ ය.

"මේ වතාවෙ දි ඒක වෙනස්‌ එරික්‌. මට හීනෙන් කොටසක්‌ මතකයි."

"ඇත්තට ම?" ඔහු කීවේ ය.

"හොඳයි.එහෙනම් කියන්න ඔයා මොනව ද දැක්‌කේ කියලා"

"මම එතකොට වයසයි. මට දුවෙකුත් හිටියා. එයා මට වෛර කරනවා."

එරික්‌ ප්‍රශ්නාර්ථයක්‌ ඇති ව ඇය දෙස බැලුවේ ය. "ඇයි එයා ඔයාට වෛර කරන්නේ?"

ක්‌ලාරා මොහොතක්‌ කල්පනා කළා ය. "මමයි එයාව නිර්මාණය කරලා තිබුණේ. මගේ හීනෙ ඇතුළේ විතරයි ඇය හිටියේ. ඇය ඒක කොහොම හරි දැනගෙන තිබුණා. ඇය මට කිවුවා ඇයට යන්න දෙන්න කියලා."

ඉදිරියට නැඹුරු වූ එරික්‌ ඇගේ දෑතින් අල්ලා ගත්තේ ය. "එයාට යන්න දෙන්න ක්‌ලාරා.."

දෑස පියා ගත් ක්‌ලාරා "හා..." යෑයි මිමිණුවා ය.

"ඔයාට වෙන මොනවා හරි දෙයක්‌ මතක ද?"

"මම විවාහකයි. නමුත් ඔහුත් සිටියේ ඒ තරම් සතුටකින් නෙමෙයි."

* * *

"ජැක්‌..." ක්‌ලාරා උරහිසින් අල්ලා ඔහුව සෙලවූවා ය. "නැගිටින්න ජැක්‌"

"මොකක්‌ ද වෙලා තියෙන්නේ?" ඔහු ඇසුවේ ය.

"මම දැන් දැකපු හීනෙ හරි ම අමුතුයි."

නැවතත් කොට්‌ටය මතට වැටුණු ඔහු "මාව ඇහැරෙව්වේ ඒකට ද?"යි ඇසුවේ ය.

"ඔව්, මට ඒක කියන්න ඕනි දැන් ම. නැත්නම් අමතක වෙයි."

"උදේ වෙනකල් ඉන්න බැරි ද?"

"බැහැ. ඒක අමතක වෙයි ආයෙමත්.."

ජැක්‌ නැවතත් නැඟිට හිඳ ගත්තේ ය.

"ඔක්‌කොම හරි, දැන් කියන්න."

"මම දැක්‌කෙ මම අවුරුදු දහ හතේ දි මැරිලා. එතැන ඉඳන් මම කරපු හැම දෙයක්‌ මත්, ඇත්ත කියලා හිතපු හැම දෙයක්‌ මත් හීනයක්‌ විතරයි."



ජැක්‌ හිස කැසුවේ ය. ඒ කියන්නේ ඔයා දැන් මැරිලා...? ඔයා මැරිලා තියෙන්නේ මීට අවුරුදු 25කට කලින්. මේ හැම දේ ම ඔයා ගේ හීනයක්‌.. එහෙම ද?"

"හ්ම්, මම හිටියෙ අම්මල ගෙ ගෙදර. මගේ ළඟ එරික්‌ හිටියා. එයාව මම ගොඩාක්‌ ළඟින් ඇසුරු කළා. පස්‌සෙ කාලෙ දි එයා මැරුණා වියට්‌නාමෙ දි.... එයයි මට කිවුවේ මේ හැම දේ ම මගේ හිතේ මැවුණු මායාවක්‌ කියලා."

"එතකොට මම කවුද?" ජැක්‌ උපහාසයෙන් ඇසුවේ ය.

"මායාවක්‌.." ක්‌ලාරා කීවා ය. "හීනයක්‌.."

"මේ කරගැටත් එක්‌ක. ඊට වඩා හොඳ හීනයක්‌ දකින්න ඔයාට බැරි වුණා ද? මම ගොඩක්‌ ලොකු සල්ලිකාරයෙක්‌ වෙලා ඉන්නව හරි සුපිරි තරුවක්‌ වෙලා ඉන්නවා වගේ දෙයක්‌. මට නම් මේක තනිකර ම අපායක්‌." ජැක්‌ කීවේය.

"ඔව්.. මම දන්නවා" ක්‌ලාරා කීවා ය.

"ටාන්‍ය ගෙනුත් අහලා බැලුවොත් කියයි මේක කා ගෙ අපායක්‌ ද කියලා..ෘ"

"ටාන්‍යා?" ජැක්‌ ප්‍රතිරාව නැංවූයේ ය.

"කවුද ටාන්‍යා කියන්නේ?"

(සමාප්තයි)


01.පුනරාගමනය

මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන සිය අසුනින් නැඟී සිටියේ, බොහෝ වේලාවක්‌ පරිගණකය දෙස බලා සිටීමෙන් වෙහෙසට පත් සිය දැසට විවේකයක්‌ දෙනු සඳහා ය. හෙතෙම සිය කාර්යාල කාමරයේ වූ ජනෙල් පෙළ වෙත ගොස්‌ ඉන් පිටත පෙනෙන ලොව දෙස නෙත් යොමු කළේ ය. එසේ කාර්යාලයේ ජනේලයෙන් පිටත බලන සැම විට ම පාහේ සිදු වන අයුරින් ඔහු වෙතින් අද ද සුසුමක්‌ පිට විය.

අද දිනය ක්‍රි.ව. 2040 අප්‍රේල් 27 වැනි දා ය. මීට දශක දෙකකට පමණ පෙර මිනිසා අනාගතය පිළිබඳ ඉතා අප්‍රසන්න සිහින දුටුවේ ය. ජීවයට අහිතකර වාතයෙන් ආරක්‍ෂා වීමට ශ්වසනාධාරක වෙස්‌මුහුණු පැළඳ උෂ්ණාධික කොන්ක්‍රීට්‌ වනාන්තරයක විවිධාකාරයේ යන්ත්‍ර-සූත්‍ර අතර ජීවත් වීම සිය ඉරණම වෙතැ'යි මිනිසා බිය විය. තුන්වැනි ලෝක යුද්ධයෙන් පසු ලොව බොහෝ රටවල් එම ඉරණම අත්පත් කොටගෙන කාලයක්‌ දුක්‌ විඳ, අවසානයේ ආර්ථික ව අස්‌ථාවර ව, සාගත හා වසංගත නිසා විනාශයට පත් විය. එහෙත්, දේශප්‍රේමිත්වයෙන් එක්‌ වූ බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනකු ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙස අද ශ්‍රී ලංකාව එම අවාසනාවන්ත ඉරණමෙන් මිදී ඇත.

අද ශ්‍රී ලංකාවේ පවතින මේ සුන්දර පරිසරයත්, ස්‌ථාවර ආර්ථිකයත්, සාමූහික ජන සමාජයත් දැන් සාමාන්‍ය දේ බවට පත් ව ඇත. මේ තත්ත්වයට රට ගෙන ඒමට කළ කැපවීම් බොහෝ දෙනකුට දැන් අමතක ව ඇතත්, එම මහා සමාජ විප්ලවයේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ මහාචාර්ය්‍ය දහම්ට එම තීරණාත්මක කාල පරිච්ඡේදය අමතක කළ නො හැකි ය. සිය කාර්යාලයේ ජනේලයෙන් ඉවත බලන සැම මොහොතක ම සිය කාර්යභාරය සාර්ථක ව ඉටු වී ඇතැ'යි යන සැනසිලිදායක සිතිවිල්ල නිසා ඔහු ගේ සිත සැහැල්ලු වේ.

තව දින දෙකකින් ශ්‍රී ලංකාවේ හතරවැනි පාලක මණ්‌ඩලයේ නායකතුමා ගේ පදවි ප්‍රාප්තියේ පස්‌වැනි සංවත්සර උත්සවය යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන්නේ, ඉතා චාම් රාජ්‍ය උත්සවයකි. එනමුත්, නායකතුමා ගේ ඉල්ලීම පරිදි සැම විද්වත් සභාවක්‌ විසින් ම, රටේ පුරවැසියන් ගේ යහපැවැත්ම උදෙසා වූ නව නිර්මාණයක්‌, යෝජනාවක්‌ හෝ සංකල්පයක්‌ එදින ඉදිරිපත් කළ යුතු ය.

මීට වසර 15කට පෙර ඇති කළ එම ''විද්වත් සභා'' සංකල්පය පාඨකයාට නුහුරු දෙයක්‌ විය හැකි ය. එහෙත්, මේ මහා විප්ලවයේ, මේ සාර්ථකත්වයේ, මේ සැනසිලිදායක වටපිටාවේ, කොඳුනාරටිය එයයි. විධායක ජනාධිපති ධූරය තමා විසින් ම අහෝසි කරමින් නව පාලක සභා ක්‍රමය හඳුන්වා දුන්, පුනරුද යුගයේ ප්‍රථම නායකතුමා ගේත්, මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන ඇතුළු උගත් දේශප්‍රේමීන් පිරිසක ගේත් සංකල්පයක්‌ අනුව ප්‍රධාන විද්වත් සභා 7ක්‌ ඇති කරන ලදී. ඒ කෘෂිකර්මය, බලශක්‌තිය, කර්මාන්ත හා තාක්‍ෂණය, ආහාර හා සෞඛ්‍යය, ආර්ථිකය, අධ්‍යාපනය හා සංස්‌කෘතිය, ආරක්‍ෂාව හා යටිතල පහසුකම් යන අංශ 7 සඳහා ය. රටේ වර්තමානය හෝ අනාගතය හෝ වෙනුවෙන් ගනු ලබන සැම තීරණයක්‌ ම ගනු ලැබුවේ, ඒ ඒ අංශයට අදාළ විද්වත් සභාව හෝ විද්වත් සභා කිහිපයක එකතුවක්‌ විසිනි. පාලක මණ්‌ඩලයේ හා ඊට අනුබද්ධ ප්‍රාදේශීය දේශපාලන ආයතනවල කාර්යභාරය වූයේ, ජනතාව ගේ අදහස්‌ හා ගැටලු විද්වත් සභා වෙත ගෙන යැම හා විද්වත් සභාව විසින් යෝජනා කෙරෙන ව්‍යාපෘතීන් ඒ අකාරයට ම ක්‍රිsයාත්මක කිරීම ය.

බලශක්‌ති සභාවේ ප්‍රධානියා වූ මහාචාර්ය්‍ය දහම්, ලංකාවේ සිටින උගතුන් අතරින් එම තනතුර සඳහා උචිත ම පුද්ගලයා ය. ඒ එතුමා ගේ බුද්ධිය, හසල දැනුම හා ක්‍ෂේත්‍රයේ අත්දැකීම නිසා පමණක්‌ නො ව, දේශප්‍රේමීත්වය හා නො පසුබස්‌නා උත්සාහය ද නිසා ය. වර්තමානයේ ජාතික වීරවරයකු ලෙස බුහුමන් ලැබ සිටින එතුමා, එම ගෞරව නාමය සඳහා නිසැකව ම සුදුසු ය. එතුමා දැනට වසර 20ක්‌ වන පුනරුද යුගයේ ප්‍රධාන නියමුවෙකි. මුළු ලොව ම බලශක්‌ති අර්බුදයේ පතුලට කිමිදෙන තුරු ම, ප්‍රබල රටවල් ඉතිරි වූ ස්‌වාභාවික ශක්‌ති ප්‍රභව වෙනුවෙන් ඇන කොටා ගනිත් දී, ලොව සියලු ම න්‍යෂ්ටික බලාගාර තෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ ව යද්දී මේ පඬිවරයා ගේ දූරදර්ශී ඥනය නිසා ශ්‍රී ලංකාවට එම විපතින් මිදීමට වාසනාව ලැබිණ. මීට වසර 20කට පෙර එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ උපහාසයට ලක්‌ කළ, එයට එකල සහාය පළ නො කළ අඥනයන් පවා අද එතුමා සිහි කරන්නේ කෘතඥතා පූර්වකව ය.

තව දින දෙකකින් එළඹෙන සංවත්සර දින උළෙලේ දී, බලශක්‌ති සභාව වෙනුවෙන් තමාට ජාතිය හමුවේ විනාඩි 15ක පමණ කතාවක්‌ පවත්වා, සිය නව සංකල්පය හෝ නිර්මාණය ඉදිරිපත් කිරීම ඔහුට භාර ව ඇත. එදිනට ඉදිරිපත් කරන නව නිර්මාණය හෝ යෝජනාව කුමක්‌දැ'යි දහම් තව ම තීරණයක්‌ ගෙන නැත. මේ වන විටත් ඔහු යටතේ කටයුතු කරන ව්‍යාපෘති කණ්‌ඩායම් 7ක්‌ නව නිර්මාණ 7ක්‌ පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් සිටියි. බලශක්‌ති ව්‍යාපෘතියේ සාර්ථකත්වය, ප්‍රායෝගිකත්වය, කාර්යක්‍ෂමතාව හා ආකර්ෂණීයත්වය මත ඉන් වඩාත් සුදුසු ව්‍යාපෘතිය තෝරා ගත යුතු ව ඇත්තේ ද, දහම් ප්‍රමුඛ බලශක්‌ති සභාවේ විධායක මණ්‌ඩලය ය. නව නිර්මාණයක්‌ කිරීමට වඩා, ඊට පෙර කිරීමට සිදු වන දේශනය අසීරු යෑ'යි දහම්ට සිතේ. මක්‌නිසා ද යත්, එය ද භාරදූර වගකීමක්‌ වන බැවිනි. තමා ගේ සැම වදනක්‌ ම පොදු ජන සමාජය වෙත යම් බලපෑමක්‌ එල්ල කරන බව ඔහු දනියි. ඒ ජනතා සිත් තුළ මේ අසිරිමත් පඬිවරයා කෙරෙහි අතිමහත් ගෞරවයක්‌ හා විශ්වාසයක්‌ ඇති නිsසා ය. ජනතා සිත්වල විශ්වාසය, උද්යෝගය, දේශප්‍රේමීත්වය හා අවබෝධය ඇති වන අයුරින් සිය දේශනය පැවැත්වීම විශාල අභියෝගයකි.

ජනේලයෙන් පෙනෙන, අවට පරිසරය සිසාරා විහිද ඇති හරිතවන් තුරුලතාදියේ සුන්දරත්වය විඳිමින්, ඔහු සිතට විවේකයක්‌ ලබා දුන්නේ දේශනය සඳහා හොඳ අදහස්‌ කිහිපයක්‌ ගොනු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ක්‍ෂිතිජය තෙක්‌ සිසාරා විහිද ඇති හරිත පැහැය දකින දහම් ගේ සිත අතීතය ආවර්ජනා කරන්නට විය.

එවක පැවැති රජය විසින් පෙට්‍රල් ලීටරය රු. 2000/-ක්‌ ලෙස මිල ඉහළ දැමූ දිනය ඔහුට අද මෙන් මතක ය. ඒ තවත් රු. තුන් සියයකින් ඉන්ධන මිල වැඩි වී ජන ජීවිත පීඩාවට පත් වූ නිසා ම නො ව, සිය ජීවිතයේ ප්‍රධාන හැරුම් ලCෂ්‍යය සටහන් වන්නේ, එදා නිසා ය. ඒ වන විට ඔහු මොරටුව විශ්වවිද්‍යාලයයේ තෙවැනි වසරේ ඉංජිනේරු සිසුවෙකි. ඔහු සිය විෂය පථය ලෙස තෝරාගෙන තිබුණේ, පරිගණක ඉංජිනේරු විද්‍යාව වුව ද, මේ සුවිශේෂ දිනයේ සිsට ඔහු ගේ සිත වෙහෙසුණේ, අනාගතයේ උදා වන ලෝක බලශක්‌ති අර්බුදයට විසඳුම් සෙවීමට ය. එදා සිට ඔහු දිවා රාත්‍රී නො බලා එම විෂය පථය අධ්‍යයනය කළේ ය. අසහාය බුද්ධිමතකු වූ දහම් විඡේවර්ධන නම් ඉංජිනේරු සිසුවාට බොහෝ බහුජාතික සමාගම් හා ප්‍රබල රටවල් සාමාන්‍ය ජනතාව ගෙන් වසන් කිරීමට උත්සාහ කළ, ලෝක බලශක්‌ති අර්බුදයේ වර්තමාන තත්ත්වය හා අනාගතය අතැඹුලක්‌ ලෙස අවබෝධ විය.

ඒ වන විට ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක්‌ ලොව පුරා බොහොමයක්‌ රාජ්‍ය සිය කුමන්ත්‍රණකාරී උපක්‍රම යොදා අරාජික කොට වක්‍ර ව සිය අණසකට යටත් කොටගෙන තිබිණ. ඔවුහු එම රටවල සම්පත් සූක්‍ෂ්ම ලෙස සිය රටවල් වෙත අද්දමින් සිටිය හ. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හමුවේ අගතියට පත් රාජ්‍යයන් තුළ ඇති ව තිබූ, දිනපතා බෝම්බ පිපිරෙමින් උනුන් ඇන කොටා ගන්නා ඉතා ඛේදනීය තත්ත්වය දැක දැකත්, තව තවත් රටවල් බල ලෝභය හා ධන ලෝභය පදනම් කොටගෙන හටගත් අභ්‍යන්තර දේශපාලන පාවාදීම් නිසා ඇමෙරිකානු කඳවුරේ උගුල්වලට හසු විය. සිදු වෙමින් පවතින මේ කුරිරු හා අමානුෂික ව්‍යාපාරයට ද මූල හේතු ව ඛනිජ ඉන්ධනවල ශීඝ්‍ර ක්‍ෂය වීම බව දහම් ගේ විචක්‍ෂණ නුවණට අවබෝධ විය. ලොව ඇති සම්පත්වලට වඩා, නාමික ව නිකුත් කර ඇති ඇමෙරිකන් ඩොලර් ප්‍රමාණය ඉහළ යැම සිදු වන්නේ ද ඛනිජ ඉන්ධන අත්පත් කරගැනීම වෙනුවෙන් අධිරාජ්‍යවාදී රටවල් ගෙන යන අදූරදර්ශී හා ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙත නිසා ය. මේ නිසා ලොව පුරා ආර්ථික අර්බුදයක්‌ ඇති වනු වැළැක්‌විය නො හැකි බව දහම්ට පැහැදිලි විය. ඔහු ගේ විශ්ලේෂණයන්ට හා

පෙරැයීම්වලට අනුව, ඇමෙරිකන් කඳවුර විසින් පීඩාවට පත් කරන ලද මුස්‌ලිම් රාජ්‍ය හා වාමාංශික ප්‍රබල රාජ්‍ය විසින් ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල්වලට විරුද්ධ ව ඉන් පස්‌ වසරක්‌ ඇතුළත තෙවැනි ලෝක යුද්ධය අරඹනු ඇත. එය පළමු හා දෙවැනි ලෝක යුද්ධයන්ට වඩා සම්පූර්ණයෙන් ම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනු ඇති බවත්, එය තොරතුරු තාක්‍ෂණය ඔස්‌සේ ආරම්භ වී න්‍යෂ්ටික අවි භාවිත කොට විශාල විනාශයක්‌ සිදු වීමෙන් අවසන් වන බවත් දහම් ව්‍යුත්පන්න කළේ ය.

දහම් මේ ආදී බොහෝ හෙළිදරව් කිරීම් හා අනාවැකි ඇතුළත් කොට ඉතා සරල බසින් පිටු හැටක සංක්‍ෂිප්ත වාර්තාවක්‌ ඔහු සකස්‌ කළේ ය. ඔහු එහි පිටපත් ඒ වන විට රටේ සිටි දේශප්‍රේමී උගතුන්, මාධ්‍යවේදීන් හා දේශපාලනඥයන් කිහිප දෙනකුටත්, ජනාධිපතිවරයාටත් තැපැල් කළේ ය. දහම් එතැනින් නැවතුණේ නැත. ඔහු ඊට විසඳුමක්‌ සොයමින් සිය කාලය හා ශ්‍රමය වැය කරන්නට විය. මේ වන විට හෙතෙම සිය විශ්වවිද්‍යාල දිවිය අවසන් කොට පරිගණක ඉංජිනේරුවකු ලෙස සිය ප්‍රථම රැකියාව ආරම්භ කර තිබිණ. දහම් බලශක්‌ති අර්බුදය කේන්ද්‍ර කොටගෙන ඇති වන ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටලුවලට ඒකාබද්ධ විසඳුමක්‌ සහිත සිය දෙවැනි වාර්තාව පළ කරන්නේ මේ කාලයේ ය. එහි වූ සුවිශේෂී ම ප්‍රකාශය වන්නේ, තව වසර 25ක කාලයක්‌ ගත වන තුරු න්‍යෂ්ටික බලශක්‌තිය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නො කළ යුතු ය යන්න ය.

දහම් විඡේවර්ධන ගේ වාර්තා දෙක කියවා බැලූ බොහෝ උගත්තු ඒවා තවත් එක්‌ අපරිණත විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ගේ පණ්‌ඩිත ක්‍රියාවක්‌ ලෙස නො සලකා හැරිය හ. බොහෝ මාධ්‍යවේදීහු එය අවබෝධ කොටගත නො හැකි ව ඉවත හෙළු හ. බොහෝ දේශපාලනඥයෝ ඒවායේ තිබූ ප්‍රකාශයන් සිය වාසිය සඳහා දේශපාලන වේදිකාවන්හි දී යොදා ගත් හ. එහෙත්, එම වාර්තාවල වැදගත්කම අවබෝධ කරගත් බුද්ධිමත්තු පිරිසක්‌ ද සිටිය හ. එම පිරිසට අයත් විශ්වවිද්‍යාල ආචාර්ය්‍යවරු පිරිසක්‌ තව තවත් තොරතුරු ලබා දීමෙන් දහම් දිරිමත් කළ හ. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්‌ එම වාර්තාවලට සිය මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරයක්‌ ලබා දී තම කාර්ය්‍යභාරය ඉටු කළ හ. දහම් ගේ නම ද ඔහු ගේ සංකල්ප ද, පොදු ජනතාව වෙත යම් තරමක්‌ හෝ ගමන් කළේ ය. මේ සියල්ලට ම වඩා වැදගත් පුද්ගලයෙක්‌ මේ වාර්තා දැක පැහැදුණේ ය. ඒ එවකට සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා ය. එතුමා මේ නාඳුනන විශ්වවිද්‍යාල සිසුවා ගේ වාර්තාව කියවූ පමණින් ඒවා පිළිගත්තේ නැත. එහෙත්, කාලය ගත වන විට දහම් ගේ අනාවැකි එකින් එක සත්‍ය වන බව දුටු ජනාධිපතිවරයා ද ක්‍රමයෙන් ඒ වාර්තා පිළිගන්නට විය.

සිය වාර්තා පළ කොට වසර දෙකක්‌ ගත වූ පසු ව ඒ පිළිබඳ බුද්ධිමත් කතිකාවතක්‌ ආරම්භ වන විට, දහම් ඒ ඔස්‌සේ තමා යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ද ඔහු අරඹා තිබිණි. දහම් පෞද්ගලික ආයතනයක ඉතා ඉහළ වැටුපක්‌ සහිත සිය තනතුර අතහැර මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ සහාය කථිකාචාර්ය්‍යවරයකු ලෙස සේවය කිරීම අරඹා තිබිණ. දහම් ගේ දැනුම, බුද්ධිය හා ඔහු ගේ වාර්තා දැක පැහැදුණු විශ්වවිද්‍යාල ආචාර්ය්‍ය මණ්‌ඩලය විශ්වවිද්‍යාලය තුළ ඔහුට සහාය කථිකාචාර්ය්‍යවරයකුට වඩා උසස්‌ තැනක්‌ ලබා දුනි. ඔහු ගේ අදහස්‌ හා යෝජනාවලට ඉඩක්‌ එහි ලැබිණි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම වසර දෙක ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් විසින් කරනු ලැබූ සැම ව්‍යාපෘතියක්‌ ම පාහේ ශ්‍රී ලංකාවේ බලශක්‌ති අර්බුදය හා ඉන් ඇති වන අනෙකුත් ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික තාක්‍ෂණික විසඳුම් විය. පෙර මෙන් ඒවා පරීක්‍ෂණාගාර තුළට සිර නො වී ය. දහම් වටා එක්‌ ව සිටි දේශප්‍රේමී බුද්ධිමත් තරුණ ව්‍යාපාරිකයන් විසින් මූල්‍ය පහසුකම් සලසනු ලදුව ඒවා පොදුජන යහපත වෙනුවෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය. විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘතීන්වල යෙදෙන ශිෂ්‍යයන්ට පෙරට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට සිදු විය. පෙර මෙන් වංචනික ලෙස ව්‍යාපෘතිය සඳහා ලකුණු ලබා ගැනීමට නො හැකි වීමෙන් කෝපයට පත් ආත්මාර්ථකාමී සිසුන් කිහිප දෙනෙක්‌ ''තම චින්තන නිදහස උල්ලංඝනය කොට ඇතැ'යි චෝදනා කරමින් සුළු උද්ඝෝෂණයක්‌ කළ ද, බහුතරයක්‌ සිසුහු ඉතා කැප වීමෙන් එම කටයුතුවල නියෑළුණ හ. ඒ සිය මුතුන් මිත්තන් ගෙන් සහජයෙන් ම උරුම වූ දේශප්‍රේමීත්වය ඔවුන් ගේ ජාන තුළ සැ`ගවී හෝ තිබූ නිසා විය හැකි ය.

මින් අනතුරු ව දහම් සිය ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතිය ඇරඹී ය. ඒ සූර්ය්‍ය කෝෂ නිපදවන කම්හලක්‌ ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම ය. බහු ජාතික සමාගම්වල මවාපෑම්වලට මුළා වී සිටි බොහෝ දෙනකු එය අසාර්ථක වනු ඇතැ'යි කීව ද, සුමිත් බඹරැන්ද නම් තවත් දේශප්‍රේමී තරුණ ව්‍යවසායකයෙක්‌ ඒ සඳහා නො බියව ඉදිරිපත් විය. දිනකර යෑයි නම් ලද එම සූර්ය්‍ය කෝෂ කම්හල අද රජයට පවරාගෙන ඇතත්, ශ්‍රී ලංකාවේ පුනරුදයේ ප්‍රථම යෝධ පියවර එය ලෙස දැන් පාසල්වල ඉගැන්වේ.

ශ්‍රී ලංකාවේ සැම ගොඩනැඟිල්ලක ම පාහේ වහළය සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ, දිනකර කම්හලේ නිපදවූ උළු හා සෙවිලි තහඩු ය. ඒවා ප්‍රායෝගික භාවිතය ඉතා පහසු වන ලෙස මෙන් ම ඉතා අඩු වියදමකින් නිපදවා තිබිණ. වහළය සෙවිලි වීමට අමතර ව බලශක්‌ති අවශ්‍යතාව ද ඉන් සැපිරිණ. එසේ නිපදවන ලද අමතර බලශක්‌තිය ප්‍රධාන ජාලය ඔස්‌සේ වෙනත් ප්‍රදේශ කරා සන්නයනය කරන ලදී.

පුනරුදයේ මීළ`ග වැදගත් පියවර වන්නේ, ප්‍රමුඛ බුද්ධිමත් දේශප්‍රේමී කණ්‌ඩායම හා ජනාධිපතිවරයා ගේ හමු වීම ය. මීට කලකට පෙර පටන් පැවැති අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට එරෙහි ව එකමුතු ව කටයුතු කිරීම නිසා, ශ්‍රී ලාංකිකයන් ගේ දේශප්‍රේමී අදහස්‌ ඉස්‌මතු ව තිබිණ. එනිසා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පත් වූයේ, දේශ හිතෛශී ආණ්‌ඩු හා ජන නායකයන් ය. එය පුනරුදයට විශාල පිටිවහලක්‌ විය. ඒ අතරින් මේ ජනාධිපතිවරයා විශේෂ විය. ඔහු දේශීය දේ අගය කළ උගත් හා බුද්ධිමත් දේශප්‍රේමියෙක්‌ විය.

ඒ වන විට දහම් ගේ වාර්තාවේ අනාවැකි පළ කළ අයුරින් ම සියල්ල සිදු වෙමින් පැවැතිණ. ජනාධිපතිවරයා ගේත්, දහම් ගේත් අනෙක්‌ උගත් බුදධිමතුන් ගේත් අදහස්‌ පරිදි විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විශේෂඥ කණ්‌ඩායම් 7ක්‌ පත් කරන ලද්දේ එම හමු වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. පසු ව විද්වත් සභා නමින් ව්‍යවස්‌ථාගත වූයේ, මේ විශේෂඥ කණ්‌ඩායම් 7 ම ය. පත් කළ දින සිට ම එම කණ්‌ඩායම්වල සාමාජිකයෝ දිවා රෑ වෙහෙස වෙමින් එක ම අරමුණක්‌ වෙනුවෙන් වෙහෙසුණ හ. එම අරමුණ වූයේ, ''දේශීය සම්පත් හා දැනුම උපයෝගී කරගෙන ලංකාව ස්‌වයංපෝෂිත රටක්‌ බවට පත් කර අනාගතයේ ලොව මුහුණ දෙන ආර්ථික හා සමාජයීය අර්බුදයට සාර්ථක ව මුහුණ දීම'' ය.

සැම කණ්‌ඩායමක්‌ ම යුහුසුලු ව සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියේ ය. මේ වන විට මෙලොව මෑත ඉතිහාසයේ හටගත් දරුණු ම ඛේදවාචකය ඇරඹෙමින් තිබිණ. එනම්, තුන්වැනි ලෝක යුද්ධය ය. එහෙත්, විශේෂඥ කණ්‌ඩායම්වල අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙස එම අසීරු කාලපරිච්ඡේදයට ඉතා සාර්ථක ව මුහුණ දීමට ලංකාවට හැකි විය. 'දහම් ගේ වාර්තා' යනුවෙන් එකල ප්‍රකට ව පැවැති යට කී වාර්තා ඒ සඳහා බොහෝ ඉවහල් විය.

අධ්‍යාපන හා සංස්‌කෘතික කණ්‌ඩායම ද බොහෝ වැදගත් මෙහෙයක්‌ ඉටු කළේ ය. ජනතාව සමගි ව දේශප්‍රේමී හැ`ගීම් ඇති ව උද්යෝගයෙන් ක්‍රියා කිරීම ඔවුන් ගේ සාර්ථකත්වයයි. ඔවුන් ගේ එක්‌ වැදගත් යෝජනාවක්‌ වූයේ සර්ව ආගමික නායක සභාව ය. ජාතීන් වශයෙන් කිසි විටෙක ලාංකිකයන් වර්ග නො කළ යුතු ය යන්න ඔවුන් ඇති කළ වැදගත් රෙගුලාසියකි. මන්ද, ඒ වන විට භාෂා පරිවර්තක භාවිතය හේතුවෙන් කිසිවකුට භාෂාව ගැටලුවක්‌ නො වූ නිසා ය. ජාතිය ගැටලුවක්‌ කරගත්තේ ආත්මාර්ථකාමී දේශපාලකයන් පිරිසක්‌ පමණි. සියලු ම ආගම්වල පූජ්‍ය පූජකතුමන් ලා සිය අනුගාමිකයන්ට දේශනා කළේ, සියලු වාද භේද අමතක කොට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක්‌ වන්නට කියා ය. විදේශවල සිටින ආගම් අන්තවාදීන් ගේ බලපෑමට හසු වූ පිරිස්‌ නිසා මුල් කාලයේ යම් ගැටලු පැන නැඟුණ ද, රට තුළ සිදු වන අවංක වැඩපිළිවෙළ දැක සිය අඥනවන්තකම් ගැන ලඡ්ජාවට පත් ඔවුහු පසු ව ශ්‍රී ලාංකික ජාතික සංකල්පය වැළඳ ගත් හ. ආගම් ඇදහීම සඳහා වෙන වෙන පූජ්‍ය ස්‌ථාන කරා ගිය ද ඔවුහු සියල්ලෝ එක ම ජාතියක්‌ මෙන් සිතන්නට වූ හ. එනිසා ක්‍රයෙන් අතීතයේ පටන් පැවැති හෙළ සංස්‌කෘතිය පදනම් වූ පොදු ශ්‍රී ලාංකීය සංස්‌කෘතියක්‌ ඇති වීම ආරම්භ විය.

මේ අයුරින් සැම විශේෂඥ කණ්‌ඩායමක්‌ සිය යුතුකම ඉතා ම අවංක ව කැප වීමෙන් යුතු ව පොදු ජන සහයෝගය සහිත ව කරගෙන යන අතරතුර දහම් ඇතුළු කණ්‌ඩායමට සිදු වූයේ, ඒ අතරින් බැරෑරුම් ම කටයුත්ත ඉටු කිරීමට ය. එනම්, නුදුරු අනාගතයේ ඇති වන අර්බුදයට මූලික වන හේතුවට පිළියම් කිරීම ය. බලශක්‌ති ක්‍ෂේත්‍රය අන් බොහෝ ක්‍ෂේත්‍ර සමග සම්බන්ධ වී ඇති නිසා, දහම් ඇතුළු කණ්‌ඩායමට අනෙකුත් සියලු ම කණ්‌ඩායම් සමග කටයුතු කිරීමට සිදු විය.

බලශක්‌ති කණ්‌aඩායමේ යෝජනාවලින් මුලින් ම ක්‍රියාත්මක කළේ, මාර්ගාශ්‍රිත රුක්‌ රෝපණ ව්‍යාපෘතියකි. එහි වැදගත්කම බොහෝ දෙනකුට එවකට නො වැටහිණ. ඒ ඉතා දූරදර්ශී ව්‍යාපෘතියක්‌ බව ජනතාව වටහා ගත්තේ, ඉන් වසර කිහිපයකට පසු, රුක්‌ ගොමුවලින් සුන්දරත්වයට පත් නාගරික මංමාවත්වල සිහිල් සෙවණේ, පා පැදිවලින් හා පයින් ගමන් කරන විට ය.

බලශක්‌ති කණ්‌ඩායමේ ප්‍රධාන අරමුණ වූයේ, ඛනිජ ඉන්ධන වෙනුවට විකල්ප බලශක්‌ති ප්‍රභවයක්‌ සොයා ගැනීම ය. එහෙත්, දහම් එම ක්‍ෂේත්‍රයේ මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ හා ව්‍යාපෘතින් ගෙන් ලත් අත්දැකීම් අනුව ඛනිජ ඉන්ධන වෙනුවට න්‍යෂ්ටික ශක්‌තිය හැර වෙනත් තනි බලශක්‌ති ප්‍රභවයක්‌ සොයාගැනීම ප්‍රායෝගික නො වන බව අවබෝධ කරගෙන සිටියේ ය. දහම් ගේ වාර්තා අනුව න්‍යෂ්ටික බලාගාරයක්‌ ශ්‍රී ලංකාව තුළ වසර 25ක්‌ ඇතුළත ඉදි නො කළ යුතු විය. එනිසා, ඔවුන් කළේ, සූර්ය්‍ය කෝෂ, සූර්ය්‍ය තාපයෙන් ක්‍රියා කරන ස්‌ටර්ලින් එන්ජින්, සුළං බලාගාර, මුහුදු රළ බලාගාර ආදී නොයෙකුත් යටිතල පහසුකම් ඇති කිරීම ය. තව ද, විද්යුතය ගබඩා කිරීමේ කාර්යක්‍ෂම ක්‍රම පිළිබඳ ව ද පරීක්‍ෂණ කරමින් සාර්ථක විද්යුත් කෝෂ වර්ග කිහිපයක්‌ ම නිර්මාණය කරන ලදි.

ඔවුන් ගේ අසීරු ම අභියෝගය වූයේ, දිගු දුර ප්‍රවාහනය සඳහා අවශ්‍ය විශ්වාසදායී බලශක්‌ති ප්‍රභවයක්‌ සොයා ගැනීම ය. අවසානයේ පොදු ප්‍රවාහන සේවා සඳහා විද්යුත් ශක්‌තිය ලබාගත හැකි මාර්ග පද්ධතියක්‌ ඉදි කිරීම ඇරඹිණ. ඒ වන විට සාර්ථක ව රට තුළ ජාලගත ව තිබූ දුම්රිය මාර්ග පද්ධතිය මේ සඳහා උපකාර කරගත් නිසා එම කටයුත්ත තරමක්‌ පහසු විය. ඇමෙරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි විශාල රටවලට නැති විශේෂ වාසියක්‌, රටේ කුඩා බව නිසා ලංකාවට ලැබිණ. එහෙත්, මේ යෝධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී, ධනලෝභී දේශපාලනඥයන් හා වෙනත් කූඨ ව්‍යාපාරිකයන් ගෙන් බොහෝ කරදර සිදු විය. ඒවා ද පෙර පරිදි ම ජනාධිපතිවරයා ගේ මැදිහත් වීම මත ආරක්‍ෂක හමුදාවේ සහායෙන් විසඳිණ.

මාර්ග ජාලය පැතිරීමෙන් පසු ඊට අනුබද්ධ ව කුඩා ප්‍රවාහන පද්ධතීන් ජනතාව විසින් ම ඇති කරන ලදී. අතීතයේ ඉන්ධන පිරවුම්හල් අද විද්යුත් කෝෂ හුවමාරු ස්‌ථාන ලස නම් කෙරිණ. ඒවායින් කරන්නේ තම මෝටර් රථයේ හෝ යතුරු පැදියේ ඇති විසර්ජනය වූ විද්යුත් කෝෂ භාර දී ඒ වෙනුවට ආරෝපණය කරන ලද කෝෂ මිල දී ගැනීම ය. එක්‌ රථයක්‌ තුළ කෝෂ කිහිපයක්‌ ම සවි කළ හැකි ලෙස එම රථ නිපදවා ඇති නිසා ගමනේ දුර අනුව කෝෂ හුවමාරුව කරගත යුතු ය. මුල් කාලයේ මේ කෝෂ නිෂ්පාදනය සිදු කළේ ද, බලශක්‌ති කණ්‌ඩායම විසින් පිහිටුවන ලද කර්මාන්තශාලාවල ම ය.

බලශක්‌ති කණ්‌ඩායමේ ආධාර හා උපදෙස්‌ මත කාර්ය්‍යක්‍ෂම පාපැදි, යතුරු පැදි හා සැහැල්ලු මෝටර් රථ නිපදවන කර්මාන්තශාලා ද කිහිපයක්‌ ම ඇති විය.

පැරැණි පෙට්‍රල් හා ඩීසල් වාහනවල කොටස්‌ ප්‍රතිචක්‍රීකරණය මඟින් අමුද්‍රව්‍ය සපයාගෙන ඉතා පහසු මිලට නව සැහැල්ලු මෝටර් රථ නිපදවන කම්හලක්‌ ආරම්භ කිරීමට ද එක්‌ දක්‍ෂ ව්‍යවසායකයෙක්‌ සමත් විය. එහි දී සිදු වූ එක්‌ විශේෂ සිදුවීමක්‌ වූයේ, අතීතයේ අති සුඛෝපභෝගී ලෙස සැලකුණු මිල අධික මෝටර් රථවලට සමාන වටිනාකමක්‌, ප්‍රතිචක්‍රීකරණයේ දී, මිලෙන් අඩු සැහැල්ලු මෝටර් රථ සඳහා ද ලැබීම ය.

නාගරික ප්‍රදේශවල වූ කුලී පාපැදි සේවාව නිසා, පොදු ප්‍රවාහන සේවය වූ විදුලි දුම්රිය නැවතුම් ස්‌ථානවල සිට රාජකාරී ස්‌ථාන හෝ නිවාස කරා යැම අපහසු නො වී ය. අතුපතර විහිදුණු රුක්‌ ගොමුවලින් ගැවැසුණු සිසිල් සෙවණ සහිත මහා මාර්ගවල ගමන පීඩාකාරී නො වීය. ජනතාව ගේ යහපත් ශරීර සෞඛ්‍යය සඳහා ද එය බොහෝ ප්‍රයෝජනවත් විය.

ස්‌වංපෝෂිත රාජ්‍යයක්‌ බවට පත් වීම සඳහා ම වූ මෙබඳු අහිංසක සංවර්ධන ක්‍රියාවලියක්‌ ශ්‍රී ලංකාව තුළ සිදු වන අතරතුර ලොව අන් රටවල සිදු වූයේ, ඊට ප්‍රතිවිරුද්ධ දේ ය. ලොව සුපිරි බලවතා වීමේ සටනේ නිරතුරු ව ම යෙදුණු ඇමෙරිකාවේ කෲර හා ආත්මාර්ථකාමී ක්‍රියා කලාපයක්‌ නිසා ලොව සියලු ම බලවත් රාජ්‍ය නො සන්සුන් වූ හ. ඛනිජ ඉන්ධන ආදී සම්පත් අතින් පොහොසත් නමුත්, යුද බලය අතින් දුර්වල රාජ්‍ය ඇමෙරිකාව විසින් ආක්‍රමණය කොට අරාජික කළේ, එම රටවල කුමක්‌ හෝ අභ්‍යන්තර සිදුවීමක්‌ පදනම් කරගෙන එම ආක්‍රමණ සාධාරණීකරණය කරමිනි. හේතුවක්‌ සොයාගත නුහුණු තැන සුපුරුදු පරිදි සිය බුද්ධි අංශ උපයෝගී කොටගෙන හේතු නිපදවූ හ. ඉන් අනතුරු ව ඔවුන් විසින් එම රාජ්‍යවලට පත් කරන ලද්දේ, ඇමෙරිකන් අධිරාජ්‍යයට කීකරු, රූකඩ නායකයන් ය. එම රූකඩ රජයන් කළේ, එම රටට යහපත පිණිස කටයුතු කිරීම නො ව. ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජය්‍යවාදී රටවල න්‍යාය පත්‍රයනට අවශ්‍ය අයුරින් කටයුත කිරීම ය. එම නිසා එම රජයන් සැම විට ම මහජන අප්‍රසාදයට ලක්‌ විය.

තත්ත්වය මෙසේ වුව ද අනෙකුත් බලවත් රටවල් වුව ද නිශ්ශබ්ද ව සිටියේ, ඇමෙරිකාව හා යුධ වැදීමට තිබූ බිය නිසා ය. ඇමෙරිකාව ද ජගත් සාමය ආරක්‍ෂා කිරීමේ මුවාවෙන් තව තවත් නවීන යුධ අවි නිපදවමින් යුධමය වශයෙන් තව තවත් බලවත් විය. එහෙත්, මේ වන විට ලොව පුරා මුස්‌ලිම් ප්‍රජාව ප්‍රමුඛ පොදු ජනතාව ඇමෙරිකාවට විරුද්ධ ව නැඟී සිටිමින් සිටිය හ. මුල් කාලයේ එබඳු පද්ගලයන් කුමක්‌ හෝ වරදක පටලවා අත්අඩංගුවට ගැනීම මගින් තව තවත් ඇමෙරිකානු විරෝධී නැඟසිටීම්, බිය වද්දවා මැඬපැවැත්වීමට අධිරාජ්‍යවාදීන් සමත් වුව ද, ක්‍රමයෙන් කැරැලිකරුවන් ප්‍රමාණය සංඛ්‍යාත්මක ව වැඩි වන්නට වීමත් සමග පාලනය තරමක්‌ අපහසු විය.

ලොව අනෙක්‌ ප්‍රදේශවල ඛනිජ ඉන්ධන ක්‌ෂය වූ පසු, ඇමෙරිකාව තුළ ඉතිරි කරගෙන සිටි ඛනිජ තෙල් සංචිත ඔවුනට ඇමෙරිකාව තුළ පරිභෝජනය ස`දහා යෙදීමට සිදු විය. එහෙත් ඒ වන විට ඇමෙරිකානුවන් හැඩගැසී සිටි නාස්‌තිකාර සමාජ රටාව නිසා ඒවා ද ඉක්‌මනින් ක්‌ෂය වන්නට විය. එනිසා ඔවුහු න්‍යාෂ්ටික බලශක්‌ති ප්‍රභව භාවිතය වැඩි කළ හ.

ලොව අනෙක්‌ රටවල් ද මේ අර්බුදයෙන් මිදීමට මං සෙවූ හ. ඒ සැම දෙනාට ම තිබූ පහසු ම බලශක්‌ති ප්‍රභවය වූයේ න්‍යෂ්ටික ශක්‌තිය ම වී ය. ශ්‍රී ලංකාවේ හැර ලොව සැම රටක ම පාහේ න්‍යෂ්ටික බලාගාර ඉදි විය. ඇමෙරිකාවට, පෙර මෙන් ඒ සදහා බාධා පැනවීම කළ නොහැකි විය. ලොව සැම රටක්‌ ම පාහේ න්‍යෂ්ටික බලශක්‌ති ප්‍රවීණයන් වෙමින් සිටියේ ය. එම නිසා, ඒ පිළිබඳ සීමා පනවමින් එම ව්‍යාපෘතීන් විමර්ශනය කරමින් සිටි ඇමෙරිකානු බුද්ධි අංශවලට දරා ගත නොහැකි තරම් තත්ත්වය සංකීර්ණ බවට පත් විය.

ඛනිජ ඉන්ධන ගනුදෙනු නැවතුණු පසුව ඇමෙරිකානු ඩොලරයකට තිබූ තැන ක්‍රමයෙන් පහළ වැටෙන්නට විය. එනිසා චීනය ආදී අනෙකුත් ආර්ථික බලවතුන් ඇමෙරිකාවේ කර තිබූ ආයෝජන ද ක්‍රමයෙන් ඉවත් වන්නට විය. ඒත් සමග ම ඇමෙරිකානු ආර්ථිකය ඉතා ම ශීඝ්‍ර කඩා වැටීමකට ලක්‌ විය. අනෙකුත් අධිරාජ්‍යවාදී යුරෝපීය රටවල් සැමෙකක ම තත්ත්වය ද එය ම විය. එම ආර්ථික තත්ත්වය දරාගත නොහැකි වූ එම ධනවාදී සමාජයන් තුළ දැවැන්ත පිරිහීමක්‌ ඇති විය. ආහාර, ඇඳුම්, නිවාස යන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකි වූ පිරිස්‌ නීතිය බිඳිමින් සිය දිවි

රැක ගැනීමට ගත් උත්සහයන් නිසා පරිපාලනය අස්‌ථාවර විය. අවනීතිය රජයමින් විශාල සමාජ පරිහානියක්‌ ඇති විය.

මේ අතරතුර ලොව පුරා විහිදී සිටි ඇමෙරිකාව හා අනෙකුත් ධනවාදී රටවලට වෛර කළ ඇමෙරිකානු විරෝධී කණ්‌ඩායම්, ලද අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ය. ඇමෙරිකානු රාජ්‍ය හා බුද්ධි අංශවලට අදාළ පරිගණක ජාල ඉලක්‌ක කර ගනිමින් දියත් වූ පරිගණක වයිරස්‌

රැල්ල එහි ප්‍රථම ප්‍රතිඵලයයි. ලොව පුරා නන් දෙසින් එල්ල වූ එම තොරතුරු තාක්‌ෂණික ප්‍රහාරය හමුවේ ඇමෙරිකාව මුල් වරට අසරණ විය.

ඇමෙරිකාව ලොව සුපිරි බලවතා වීම ස`දහා නිපදවා තිබූ සිය සියලු ම යුධ අවි, තොරතුරු තාක්‌ෂණය හා චන්ද්‍රිකා තාක්‌ෂණය පදනම් කොටගෙන තිබිණි. මේ දුර්වලතාව ප්‍රයෝජනයට ගත් ඇමෙරිකා විරෝධී කණ්‌ඩායම් මුලින් ම කළේ ඇමෙරිකානු චන්ද්‍රිකාවලට ලේසර් කිරණ පදනම් කරගත් අවිවලින් පහර දී බි`ද දැමීම ය. ඇමෙරිකාවේ සියලු ම ප්‍රබල යුධ අවි අඩපණ කිරීමට එය සමත් විය. අභ්‍යන්තර ගැටලු හා තොරතුරු තාක්‌ෂණික මෙවලම්වල හටගත් ගැටලු නිසා ඇමෙරිකානු ආරක්‌ෂක අංශවලට සිදු වෙමින් පවතින තත්ත්වය වටහා ගැනීමට පවා නොහැකි විය. එනිසා ඔවුහු හ`දුනාගෙන තිබූ සතුරන්ට පහර දීම සිය ප්‍රතිපත්තිය කර ගත් හ. පුපුරන ද්‍රව්‍ය ටොන් ගණන් ඉවක්‌ බවක්‌ නැති ව ගුවනින් හෙළමින් ඔවුහු මහා විනාශයක්‌ කිරීමට වූ හ. සිය චන්ද්‍රිකා පද්ධතියේ සහාය නැති ව ඇමෙරිකානු නියමුවන්ට ඉලක්‌කයකට බෝම්බයක්‌ වත් හෙළීමට නො හැකි වන තරමට ඔවුහු තාක්‌ෂණයට වහල් වී සිටිය හ. එම නිසා ඔවුන් අතින් ලොව පුරා සාමාන්‍ය සිවිල් ජිවිත ලක්‍ෂ ගණනින් විනාශ වන්නට විය. අන් රටවල අහිංසක ජන ජීවිත විනාශ කරමින් ඇමෙරිකාව ගෙන යන කෲර වැඩපිළිවෙළට ලොව බොහෝ රටවල් විරුද්ධ විය. ඇමෙරිකාව පත් ව සිටි දුර්වල තත්ත්වය දුටු චීනය, රුසියාව ආදී බලවත් රටවල් ඇමෙරිකාවට එරෙහි ව යුධ ප්‍රකාශ කිරීමත් සමග ම එම අවාසනාවන්ත තෙවැනි ලෝක යුද්ධය ඇරඹිණ.

සියල්ල සිදු වූයේ, දහම් ගේ වාර්තාවල අනාවැකි පළ කර තිබූ ආකාරයට ම ය. ඇමෙරිකාව සිය සතුරු රටවල් වෙත න්‍යෂ්ටික බෝම්බ හෙළා මහා විනාශයක්‌ කිරීම අරඹත් ම, ඔවුනට ද එහි ප්‍රති ප්‍රහාරය අත් විඳින්නට සිදු විය. අමෙරිකාවේ මීළ`ග පියවර වූයේ, දහම් අනාවැකි පළ කර තිබූ අයුරින් ම, ලොව පුරා විසිර ඇති සියලු ම න්‍යෂ්ටික බලාගාර හා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනවලට පහර දීම ය. ඒ ඔවුනට ඇති න්‍යෂ්ටික අවි තර්ජනයෙන් මිදීමට හා එම රටවල් අස්‌ථාවර කිරීමට ය. එහෙත්, එම කටයුත්ත අවසන් වීමට පෙර සතුරු ප්‍රහාර හමුවේ අමෙරිකාවේ ආරක්‍ෂක අංශ හා බුද්ධි අංශ සහමුලින් ම විනාශ විය. තව බොහෝ රටවල ද තත්ත්වය එසේ ම විය.

ලොව පුරා රටවල් අතර සන්නිවේදනය ඇනහිට අන්තර්ජාලය හෝ අන්තර්ජාතික දුරකථන පහසුකම් පවා නැති වී ගියේ මේ අවධියේ දී ය. ලොව පුරා සිදු වන්නේ, කුමක්‌ දැ'යි නිවැරැදි ලෙස දැන ගැනීමට නො හැකි විය. මුළු ලොව ම අඳුරේ ගිලුණාක්‌ මෙන් විය. වසර 5ක්‌ පමණ මේ අන්ධකාරයේ ගිලී ලෝ වැසියෝ පීඩා වින්දෝ ය. එහෙත්, පෙරදිග ලෝකයේ මුතු ඇටය නම් වූ ශ්‍රී ලංකාව තුළ පමණක්‌ පහන් ආලෝකය විහිදිණ. දහම් විඡේවර්ධන ගේ වාර්තා මත පදනම් ව ලාංකීය බුද්ධිමතුන් හා ජන නායකයන් ගෙන ගිය අසහාය වැඩපිළිවෙළට පින් සිදු වන්නට ලක්‌ ජනතාව පමණක්‌ පීඩාවකින් තොර ව අහිංසක ලෙස සරල දිවි පෙවෙතක්‌ ගත කළ හ. ඉන්දියාවට හෙළු බෝම්බ කිහිපයක්‌ ඉලක්‌කය වැරැදීම නිසා ලංකාවේ යාපනයට ආසන්න මුහුදට වැටී යාපනයේ සිදු වූ හානියත්, ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරවලට ඇමෙරිකන් හමුදා පහර දුන් පසු ඉන් විමෝචනය වූ විකිරණ නිසා උතුරේ ජනතාව, නැඟෙනහිර පළාතේ පදිංචි කිරීමට සිදුවීමත් හැරුණු කොට තෙවැනි ලෝක යුද්ධයෙන් ලංකාවට විශාල හානියක්‌ සිදු වූයේ නැත.

තෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලංකාවේ පොදු ජනතාව දහම් හට සැලකුවේ අති මහත් ගෞරවයකිනි. ඊට දශකයකට පමණ ඉහත දී එතුමා පළ කළ අනාවැකි, එම දශකයක පමණ කාලය තුළ ඒ අයුරින් ම සිදු වීම අහම්බයක්‌ නො ව මහා ආශ්චර්යයක්‌ යෑයි ඔවුහු විශ්වාස කළ හ. දහම් ගේ හා පසු ව පත් කළ විශේෂඥ කණ්‌ඩායම්වල යෝජනාවලට විරෝධය පෑ සුළු පිරිස පවා ක්‍රමයෙන් එම යෝජනා හිස්‌ මුදුනින් පිළිගන්නා තත්ත්වයකට පත් විය.

නව පාලක සභා හා විද්වත් සභා ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි වූයේත්, එම ජනතා විශ්වාසයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. විධායක ජනාධිපති ධූරය අවසන් කළ එම අවසාන විධායක ජනාධිපතිවරයා ම, අභිනව පාලක සභාවේ සභාපති ලෙස තේරී පත් වුව ද එතුමා වසර දෙකකට පසු ඉන් අස්‌ වූයේ, සුදුසු අයකුට අවස්‌ථාව ලබා දීමට ය. මහාචාර්ය දහම්ට එම තනතුර බාරගන්නා ලෙස නොයෙක්‌ දෙනා ඉල්ලීම් කළ ද, පරිපාලනය සඳහා තමාට වඩා දක්‍ෂ බොහෝ අය ඇතැ'යි කියා එතුමා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේ ය.

තමා ඉතා ප්‍රිය කරන අතීතාවර්ජනයේ යෙදුණු මහාචාර්ය දහම් විඡේවර්ධනයන්, ජනේලයෙන් මෑත් ව නැවැත සිය අසුනට පැමිණ හිඳ ගත්තේ, සංවත්සර උළෙලේ දී පවත්වන කතාව පිළිබඳව තීරණයක්‌ ගැනීමෙන් පසුව ය.

තම මේසය මත ඇති ලිපි ගොනු කිහිපය අතට ගත් දහම් ඒ එකිනෙක පෙරළා බලන්නට විය. ඒ සංවත්සර උළෙලේ දී ඉදිරිපත් කිරීමට නව නිර්මාණයන් තෝරා ගැනීම සඳහා තමා වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තා ය.

උඩින් ම තිබූයේ ජීව වායු නිෂ්පාදනය පිළිබඳ ව්‍යාපෘති වාර්තාව ය. වැඩි ශීඝ්‍රතාවකින් ජීව වායුව නිපදවන ක්‍ෂුද්‍ර ජීවී විශේෂයක්‌ නිපදවීම එම ව්‍යාපෘතියේ අරමුණ විය. දහම් එය පසෙකින් තැබී ය. දෙවැනි ව තිබුණේ, ඉහළ ආකාශයේ හා පොළවේ ඇති විද්යුත් ආරෝපණ වෙනස උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති යෝජනාවකි. දහම් එය ද පසෙකින් තැබී ය.

මෙලෙස සූර්ය තාපයෙන් ක්‍රියා කරන වඩාත් කාර්යක්‍ෂම ස්‌ටර්ලින් එංජිමක්‌, පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය උපයෝගී කොටගෙන විදුලිය උත්පාදනය කරන යන්ත්‍රයක්‌, වැඩි විද්යුත් ප්‍රමාණයක්‌ වඩාත් අඩු කාලයක්‌ ඇතුළත ගබඩා කර ගත හැකි ආකාරයේ විද්යුත් කෝෂයක්‌ ආදී බොහොමයක්‌ නව නිර්මාණවලට අදාළ ව්‍යාපෘති වාර්තාවන් කියවා පසෙක තැබූ දහම් දෑස්‌ වසාගෙන සිය අසුනට හේත්තු වූයේ, යම්කිසි අසීරු තීරණයක්‌ ගැනීමට ය.

ශ්‍රී ලංකාවාසීන් න්‍යෂ්ටික ශක්‌තිය සිය බලශක්‌ති අර්බුදය විස¹ ගැනීමට යොදා නො ගත්තේ, තමා ගේ වාර්තා නිසා බව දහම් දනී. තමා ගේ කීමට මුළු ජාතියක්‌ ම සවන් දුන් බව මතක්‌ වන විට දහම් බොහෝ හැ`ගුම්බර වෙයි. ඔහු ගේ දෙනෙත් තෙත් වූයේ, ඒ නිසා ය. තෙවැනි ලෝක යුද්ධය අවසන් වී අනතුරු ව එළඹි අඳුරු කාල පරිච්ඡේදය ද අවසන් ව ලෝකය සමග නැවැත සබඳතා පවත්වා ගැනීම ඇරඹී ඇත. දැන් ලෝක සිතියම වෙනස්‌ වී ඇත. සංගණනයක්‌ නො කළ ද ලෝක ජනගහනය මහා පරිමාණ වශයෙන් අඩු වී ඇති බව පැහැදිලි ය. බෝහෝ විශාල රටවල් විනාශ වී කුඩා රාජ්‍ය බිහි වී ඇත. ඒවා බොහොමයක්‌ සාගතයෙන් හා වෙනත් ස්‌වාභාවික උවදුරුවලින් පීඩා විඳින, සාක්‍ෂරතාවෙන් ඉතා පහත් ගෝත්‍රික ජන සමාජවලින් යුතු වේ. එහෙත්, ක්‍රමයෙන් ස්‌ථාවර වෙමින් පවතින රාජ්‍යයන් ද නැතිවා නො වේ. ඇමෙරිකාවේ නම් බොහොමයක්‌ ප්‍රදේශ විකිරණශීලීතාව නිසා තව ම ජීවයට සුදුසු නැත. ඉතිරි ප්‍රදේශවල කුඩා කණ්‌ඩායම් වශයෙන් වෙසෙන ජන කොටස්‌ ආහාර සඳහා ම්ලේච්ඡ ක්‍රියාවල යෙදෙන, සමාජීය වශයෙන් පිරිහුණු, දරුණු පිරිසක්‌ පවට පත් ව ඇත. ඇමෙරිකානු මහාද්වීපය විශාල වනාන්තරයක්‌ බවට පත් වෙමින් ඇත.

අසරණ වූ එම ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අද සාඩම්බරයෙන් නැඟී සිටින්නේ, න්‍යෂ්ටික ශක්‌ති භාවිතයෙන් වැළකී සිටි නිසා හා පොදු ජනතාව ගේ දේශප්‍රේමිත්වය නිසා ම සාර්ථක වූ සැලසුම්ගත ක්‍රියාදාමයක්‌ නිසා බව පැහැදිලි ය. දහම් ගේ මුල් වාර්තා අනුව න්‍යෂ්ටික ශක්‌ති භාවිතයෙන් වැළකී සිටිය යුතු වන්නේ, වසර 2045 වනතුරු පමණි. එහෙත්, පසුගිය වසර කිහිපය තුළ ජනතාව අත්දුටු කුරිරු විනාශයන් පිළිබඳ මතකයන් නිසා සැම දෙනෙක්‌ ම න්‍යෂ්ටික ශක්‌ති භාවිතය අමතක කොට ඇත. එය නො කළ යුත්තක්‌ බව ඔවුන් ගේ සිත් තුළට තදින් කා වැදී ඇත.

දහම් එක්‌ තීරණයක්‌ ගෙන තිබිණ. එනම්, මේ වසරේ සිය තනතුරෙන් ඉල්ලා අස්‌ වී ඉන් අනතුරු ව, වනගත අසපුවක විවේක සුවයෙන් ගත කිරීම ය. ඔහු සංවත්සර දින කතාව ද සැලසුම් කරගෙන ඇත. එහෙත්, එක්‌ දෙයක්‌ පිළිබඳව ඔහු තව ම පසු වන්නේ, දෙගිඩියාවෙනි. ඒ සංවත්සර දින උළෙලේ දී ඉදිරිපත් කරන නව නිර්මාණය හෝ යෝජනාව පිළිබඳව ය.

මහාචාර්ය දහම් විඡේවර්ධන ගේ බුද්ධිය ඔහුට පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික ශක්‌තිය ආරම්භ කිරීමට දැන් බාධාවක්‌ නොමැති බව ය. පසුගිය දිනවල හෙතෙම සිය බුද්ධිය මෙහෙයවූයේ, හානිදායක නො වන න්‍යෂ්ටික බල කළමනාකරණය පිළිබඳ ව ය. එහෙත්, ඔහු ගේ හැ`ගීම් ඔහුට පවසන්නේ, ලංකාවේ මේ තාක්‌ පැවැති සරල පරිසර හිතවේදී දිවි පැවැත්මට හානි නො කොට, මේ ආකාරයට ම ජීවිත පවත්වා ගැනීම සුදුසු බව ය. එවිට අනාගත පරපුරට ද මේ සුන්දර ජීවන රටාවට උරුමකම් කිව හැකි වනු ඇත.

එහෙත්, මෙරට ජනතාව තමා ගෙන් බලාපොරොත්තු වන්නේ, විද්වත් අදහස්‌ මිස සිය හැ`ගීම් නො වන බව ද දහම්ට වරෙක සිතිණ. දහම් තව ම දෙගිඩියාවෙනි. තමා ගේ මේ තීරණය ශ්‍රී ලාංකිකයන් ගේ පමණක්‌ නො ව මුළුමහත් මානව ප්‍රජාව ගේ ම අනාගතය පිළිබඳ තීන්දුවක්‌ බව ඔහු දනී. දැස්‌ වසාගෙන බොහෝ වෙලාවක්‌ තම බුද්ධිය හා හැ`ගීම් සමග සටනක යෙදුණ ද, න්‍යෂ්ටික ශක්‌තිය භාවිතය ආරම්භ කිරීමට යෝජනා කිරීම හෝ නො කිරීම පිළිබඳ තීරණයක්‌ ගැනීම දහම්ට ඉතා අපහසු කටයුත්තක්‌ විය.

දහම් අසුනින් නැඟී සිට නැවතත් ජනෙල් පෙළ අසලට ගියේ සිතට දැනෙන පීඩනය මඳක්‌ දුරු කර ගැනීමට ය. තමා සිටින තෙමහල් ගොඩනැඟිල්ලේ පාමුල සිට ඈත ක්‍ෂිතිජය දක්‌වා වූ, සුන්දර හරිත පැහැති තුරුලියෙන් ගැවසී ගත් භූමිය දෙස බැලූ මහාචාර්ය දහම් විඡේවර්ධන ගැඹුරු සුසුමක්‌ හෙළී ය


රජිත් ප්‍රියංග, පිළියන්දල
විදුසර විද්‍යා සගරාව-http://www.vidusara.com/2012/04/18/feature2.html

විදුසර පුවත්පතෙන් උපුටාගත් විද්‍යා ප්‍රබන්ද 6ක් මෙහි අන්තරගත වෙයි.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya