Thursday, September 22, 2011















බ්ලේක්‌ ගේ නිව්ටන් සිතුවම


"පරමාණුව අවසාන වශයෙනුත් බින්දා ම අයින්ස්‌ටයින් ලියපු කවිය කියවල තියනව ද ?"

දුරකථනයේ එහා කෙළවරින් එන කටහඬ ප්‍රකට සිංහල කවියකු ගේ ය.

මම නැතැයි කීවෙමි.

නිර්වින්දනය කොට තිබෙන අධ්‍යාපන සංස්‌ථාවන්හි සැබෑව පිළිබඳව තදබල ස්‌වයං විවේචනාත්මක හැඟීමකින් යුතු ව මම එම කවිය අසා සිටියෙමි. අයින්ස්‌ටයින් ගේ කෙටි සටහන් රමණීය ගද්‍ය කාව්‍ය බව කලකට ඉහත හැඟී ගොස්‌ තිබුණ ද, ඔහු ලියූ කවි ගැන කිසිවක්‌ දැන නො සිටියෙමි. එම කවිය ඇසෙද්දී මහා කවියකු ගේ මිස මහා විද්‍යාඥයකු ගේ රුවක්‌ මසිත නො ඇඳිණ.

අයින්ස්‌ටයින් ගේ කවි කියවා නො තිබුණ ද මැක්‌ස්‌වෙල් හෝ ගූතර් වැනි විද්‍යාඥයන් ගේ කවි මීට ඉහත මට මුණගැසී තිබේ. ඒ කිසිවක කාව්‍යමය ගුණය ඉහළ වූවා මිස මඳ ව තිබුණේ නැත. මනසෙහි බුද්ධිමය ධ්‍රැවය නිරන්තරයෙන් පිරිමදින්නන් අතින් මෙවැනි භාව ප්‍රකාශන මෝචනය විය හැකි ද යන්න විටෙක පැනයකි. අනෙක්‌ අතට, පරමාණුව වැනි පාරභෞතික සංකල්ප කවියක මෘදු ගුණය හා සාදන විරුද්ධාභාසයෙන් කෙසේ මිදිය හැකි ද යන්න ද පැනයකි. එසේ වුවත් මෙය ඉතිහාසය පුරා අනවරතයෙන් සිදු වූවක්‌ බවට සාක්‌ෂි බොහෝ ය.

පුද්ගල මනස තුළ ද, අනතුරු ව එහි පිළිබිඹුවක්‌ සේ සමූහ මනස තුළ ද විතැන් වූ බුද්ධියත්, භාවයත් හදිසියේ එක්‌තැන් වන අරුම මොහොතක්‌ යනු අහම්බයක්‌ නො වේ. විරසක වූ පෙම්වතුන් යුවළක්‌ සේ දෙපසට ව හිඳින බුද්ධියත්, භාවයත්, ඇතැම් විට රහසේ ඔවුනොවුන් මුණගැසෙති. එවැනි ඇසිල්ලක්‌ වුව සොඳුරු මොහොතක්‌ ලෙස අතීතයට එක්‌ වෙයි.

එපිකියුරස්‌ යනු ක්‍රි. පූ. තුන්වැනි සියවස තරම් ඈත කාලයේ ජීවත් වූ දාර්ශනිකයෙකි. ඔහු පරමාණුකවාදයක්‌ ඉදිරිපත් කළේ ය. එසේ වුවත් එම වාදය සමාජගත වූයේ ක්‍රි. පූ. පළමුවැනි සියවසේ විසූ ලුක්‌රේෂස්‌ නම් කවියා ගේ De rerum natura කාව්‍යය ඔස්‌සේ ය. එය එතරම් කාව්‍ය ගුණයක්‌ ගැබ් කරගත් එකකැයි කිව නොහැකි ය. බුද්ධිමය ධ්‍රැවය කරා යොමු කරන ඊ හිස්‌වලින් එය පිරී තිබේ. එහෙයින් ම එහි බුද්ධියේ සහ භාවයේ තුලනය එළිපිට ම බිඳ වැටේ.

කෙසේ නමුත් ක්‍රි.ව. දහ වැනි සියවසේ දී පමණ "රුබයියාට්‌" කාව්‍යය රචනා කරන ඕමාර් ඛයියාම් ගේ පිවිසුම ඊට වඩා බොහෝ වෙනස්‌ වෙයි. ඛයියාම් යනු වීජ ගණිතය සහ ජ්‍යාමිතිය අතර සබැඳියාව ලොවට හෙළි කොට දුන් ගණිතඥයෙකි. මූල්‍ය විශේෂඥයෙකි. බොහෝ දෙනකු හඳුනන අන්දමට ඔහු සුරා විතක්‌ අතින් ගත් රස ලෝලියෙකි. සිය මනස තුළ ගොඩනැඟෙන බරපතළ විසංවාදයෙන් පීඩාවට පත් වන ඛයියාම්, ලුක්‌රේෂස්‌ට ඉඳුරා ම වෙනස්‌ මඟක්‌ ගනිමින් බුද්ධිය බැහැර කොට භාවය වැළඳගනී. "රුබයියාට්‌" කාව්‍යයෙහි බොහෝ කවි තුළින් ඔහු එය අවධාරණය කරයි.

ඛයියාම් ගේ තතු විමසන බොහෝ දෙනකු ගේ මතය වන්නේ තුරුණු වියෙහි ගණිතය හා අර්ථ ශාස්‌ත්‍රය කෙරෙහි යොමු වී හුන් මේ මිනිසා පසු කලෙක කවියටත් සුරාවටත් යොමු වූ බවයි. මේ බව ඔහු ගේ ම ඇතැම් කවි ඛණ්‌ඩයන් ගෙන් පෙනේ. එහෙයින් ම ඛයියාම් ගේ කාව්‍ය තුළින් විද්‍යමාන වන්නේ බුද්ධිමය හරඹයන් ගෙන් සිදු වූ අතීත පීඩාවකට වර්තමානයේ හිඳගෙන ප්‍රතිචාර දැක්‌වීමකි. ඔහු කවි ලියූ අවධියේ ගණිතය කෙරෙහි යොමු වූ බවක්‌ නො පෙනේ.

එහෙත් පසු කලෙක ජීවත් වූ මහා කවියකු මෙන් ම භෞතික විද්‍යාඥයකු ද වූ ජොහාන් වුල්µaගැන් වොන් ගූතර් එම පීඩාව තුළ වඩා සවිඥානිකව ජීවත් වූයේ යෑයි කීම වරදක්‌ නො වේ. ගූතර් සිය කිවි බවත් භෞතික විද්‍යා ඥාණයත් සමගාමී ව වැඩූ අයෙකි. බොහෝ විද්‍යාත්මක පර්යේෂණවල නියෑළුණු ගුතර් තම කවිවලටත් වඩා එම පර්යේෂණ උසස්‌ යෑයි තක්‌සේරු කළේ ය. එසේ වුවත්, විද්‍යාවේ එන පාරභෞතික සත්තාවන් ගේත් භාවයේත් ඝට්‌ටනයෙන් මිදෙන්නට නොහැකි වූ තැන, අතිශය සියුම් වූත්, දාර්ශනික වූත් කාව්‍ය බොහොමයක්‌ නිර්මාණය කළේ ය. ගූතර් ගේ කාව්‍යයන් තුළින් හිස හොවා බලන මේ ඝට්‌ටනය අතීතයට හිමි මළ හිසක්‌ නො ව, අව්‍යාජ වියවුලක්‌ නිරූපණය කරන සප්‍රාණික එකකි. භාව-බුද්ධි සංසර්ගයෙන් ප්‍රසූත එම ප්‍රකාශන තුළින් මහා කවියකු වන්නට ගූතර් සමත් විය.

ගූතර් මෙබඳු ප්‍රශ්න කිරීමකට පෙලඹෙන විට, ටී. එස්‌. එලියට්‌ සහ රොබර්ට්‌ ෙµ්‍රdස්‌ට්‌ වැනි කවියෝ විද්‍යාවෙහි එන ප්‍රපංච කෙරෙහි සෝපාහාස බැලුම් හෙළති. ගූතර් ගේ ඇතැම් ප්‍රශ්න සඳහා කට කොනකින් සිනා නඟන්නාක්‌ වැනි පිළිතුරු ගැබ් කොට ගත් කවි ලියූ රොබර්ට්‌ ෙµ්‍රdස්‌ට්‌, මානුෂික ගුණයන් ගෙන් සිය නිර්මාණවලට පණ පොවා විද්‍යාත්මක ප්‍රපංචකරණයෙන් මුදවා ස්‌වාභාවික ජීවිතය කරා මනුෂ්‍යයා යළි රැගෙන යාමට යෝජනා කරන්නාක්‌ වැන්න. රිචඩ් විල්බර් සෘජුව පාරභෞතික සත්තාවන් එළියට ඇද, ජනයා

රැස්‌ වන මංසන්ධියක තබා නිරුවත් කරන්නාක්‌ සේ විවේචනය කළේ ය. රොබින්සන් ජෙµර්ස්‌ ද සාරා තීස්‌ඩේල් ද එම විවේචනාත්මක අදහස දැරූ හ.

එහි අනෙක්‌ අන්තය ද ඉතිහාසයේ ප්‍රකට ය. ඇලෙක්‌සැන්ඩර් පෝප්, නිවුටන් පිළිබඳව මහත් භක්‌තියකින් සිටියේ ය. තර්කය සියුම් කිරීමෙන් වියවුලෙන් මිදිය හැකි බව විශ්වාස කළ කවියෝ රොමැන්ටික්‌ යුගයේ ද විසූ හ. මිල්ටන් වරක්‌ ගැලීලියෝ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ ය. වර්ඩ්ස්‌වෝර්ත් නිවුටෝනීය විශ්වය මහත් සාදරයෙන් පිළිගත්තේ ය. කෙසේ වුවත් රොමැන්ටික්‌ යුගයේ වඩාත් විවාදාපන්න කවියා යෑයි සැලකිය හැකි විලියම් බ්ලේක්‌, හුදු තර්කය සියුම් කිරීමෙන් මිනිසා දෘඪ මායිම් සාදාගන්නා බැව් නිරන්තරයෙන් අවධාරණය කළේ ය.

උක්‌ත විරුද්ධාභාසය හමුවේ අනපේක්‍ෂිත හැසිරීමක්‌ ප්‍රකට කළ කවියකු ලෙස වෝල්ට්‌ විට්‌මන් හඳුනාගත හැකි ය. මුල් වරට සෘජු ලිංගික තේමාවන් කවි සඳහා යොදා ගැනීම මෙන් ම නිදහස්‌ පද්‍ය (Free verse) හඳුන්වා දීම නිසා ප්‍රසිද්ධියට පත් වූ මේ ඇමෙරිකානු කවියා තුළ ඒ අරභයා ගොඩනැඟුණු ද්වයතාව පහසුවෙන් තේරුම් ගත නො හේ. තර්කය හෝ විද්‍යාව පිළිබඳ ධනාත්මක මතවාද පළ කළ විට්‌මන් ගේ ඇතැම් කවි තුළින් ඒ කෙරෙහි ම සෝපාහාස බැලුම් විද්‍යමාන වෙයි. එය එක්‌තරා ආකාරයකට සිංහල කවියට ද බලපෑවේ යෑයි සිතිය හැකි ය. ජී. බී. සේනානායකයන් ගේ නිදහස්‌ පද්‍ය හෝ සිරි ගුණසිංහයන් ගේ නිසඳැස්‌, බටහිර Free verse අනුසාරයෙන් තැනුණු බවත්, ඒවා සබුද්ධික ප්‍රකාශන බවත් ඇතැම්හු පැවසූ හ. එහෙත් නිදහස්‌ පද්‍ය රීතිය තුළින් ගැඹුරු භාවයන් ප්‍රකාශ කොට තිබෙන බවත්, එය කිවියා ගේ සිට පාඨකයා කරා චිත්ත රූප හෝ භාව සම්ප්‍රේෂණයට වඩාත් යෝග්‍ය මාධ්‍යය බවත් සනාථ කරන සාදෘශ්‍ය බොහෝ ය. අනෙක්‌ අතට, නිදහස්‌ පද්‍යයෙන් වියුක්‌ත වූ රිද්ම, තාල තාක්‌ෂණික ප්‍රයෝග නම්, ඒවා යොදාගන්නා කවියා තාක්‌ෂණඥයකු බවත් එහෙයින් බුද්ධිමය අග්‍රය සුසර කරන්නකු බවත් කිව හැකි ය. ඒ සියල්ලෙන් මතු වන්නේ බුද්ධියේ සහ භාවයේ අන්තර් පැවැත්ම යෑයි කිව හැකි වෙළීමත් ගැටීමත් නම්, පළමුව Free verse භාවිත කරන්නට පෙලඹුණු වෝල්ට්‌ විට්‌මන් තුළින් එතරම් සංකීර්ණ ද්වයතාවක්‌ විද්‍යමාන වීම ගැන පුදුම වීමට අවශ්‍ය නැත.

මේ සංවාදයේ දී පෙරදිග කවීන් ගේ භූමිකාව කුමක්‌ වී දැයි සලකා බැලීම වටී. සංකීර්ණ චින්තාවලීන් සහ පාරභෞතික මතවාද කෙරෙන් නිසගයෙන් දුරස්‌ වන ස්‌වභාවයක්‌ සහිත පෙරදිග බොහෝ කවීන් කෙරෙහි විද්‍යාත්මක ප්‍රපංච කර ඇති බලපෑම අල්ප බව සැබෑවකි. එසේ වුවත් ප්‍රපංචකරණය කෙරෙහි ඉතා සියුම් ඇසකින් බැලීමට අප පෙර කී ඛයියාම් මෙන් ම ජලල්දීන් රුමි ද සමත් වී ඇත. ජපන් හෝ චීන කවි සම්ප්‍රදායන් දෙස බලන විට පෙනී යන්නේ, නිරන්තරයෙන් සෘජු අනුභූතිය කරා කවිය යොමු කරන සෙයකි. හයිකු, හොකුකු හෝ තන්කා නිර්මාණ සම්ප්‍රදායන් විසින් කවියෙහි ප්‍රපංචකරණයට තුඩු දෙන සබුද්ධික අංශය පමණක්‌ නො ව, භාවාතිශය සංරචකය ද ඉවත් කොට, නිර්ධ්‍රැවීය ප්‍රත්‍යක්‌ෂ්‍යයක්‌ කරා යොමු කරවනු ලබයි. මේ කරුණ සාංස්‌කෘතික වශයෙන් දකින්නේ නම්, එම චින්තනය තුළ විද්‍යාත්මක ප්‍රපංචකරණයට එරෙහි හෝ එකඟ ප්‍රපංච ගොඩනැඟීමේ විභවයක්‌ නො වූයේ යයි කිව හැකි ය.

අනෙක්‌ අතට වේගයෙන් පැතිර යන සංවර්ධන කුණාටුවට හසු වන පෙරදිග කාව්‍ය සම්ප්‍රදායට එම සංවාදයෙන් තවදුරටත් වියුක්‌ත ව සිටීමේ නොහැකියාවක්‌ දහ හත්වැනි සියවසේ සිට ඇති වෙයි. නව්‍ය තේමාවන් කරා කවීන්ට යැමට සිදු වෙයි. තාගෝර්ටත්, ඛලීල් ජිබ්රාන්ටත්, නත්සුමෙ සොසෙකිටත් මේ කුණාටුව කමටහන් වෙයි. තාගෝර් විසින් තත්වාරෝපණයකින් ද යුක්‌ත ව චිත්‍රණය කෙරෙන සොබාදහමේ යටි පෙළ තුළින් මේ වියවුල නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්‌ වෙයි. තර්ක ඥානයේ සිට රොකට්‌ටුව දක්‌වා තේමා තාගෝර්ට හමු වෙයි. එමෙන් ම භාවයේ සහ බුද්ධියේ රහසිගත ව්‍යාකූල බන්ධනය යළිත් හෙළි වෙයි. එක්‌ අතකින් කර්කෂ බුද්ධිමය ආක්‍රමණයකට ප්‍රතිචාර දක්‌වන්නටත්, අනෙක්‌ අතට අවිචාරයේ අගතියෙන් මිදෙන්නටත් තාගෝර් එක විට දැක්‌වූ සමත්කම පුදුමසහගත ය. එබඳු ම මඟක්‌ ගත් ජිබ්රාන්, භාවයේ සහ බුද්ධියේ ඉතා ගැඹුරු තුලිත ලක්‌ෂ්‍යයක හිඳ සිය ගද්‍ය කාව්‍ය නිර්මාණය කළේ ය.

එසේ ම සංවර්ධන කුණාටුව විසින් බටහිර කවීන්ට දායාද කරනු ලැබූ නව තේමා බොහෝ වෙයි. සඳ ගමන, පරිගණක, න්‍යෂ්ටික අවි වැනි තේමා ඔස්‌සේ ලියෑවුණු රසවත් කාව්‍යයන් ගේ යටි පෙළ තුළින් නිරන්තරයෙන් වනිත කරන කරුණු දෙකක්‌ ඇත. එනම්, බුද්ධියේ අග්‍ර ඵලයක්‌ වන සංවර්ධනය විසින් ඇති කරනු ලැබූ විපිළිසර බවත් - ඒ සමග මැදහත් ගනුදෙනුවකට මඟ සලසන සරල එකඟතාවකුත් ය.

මෙසේ භාව-බුද්ධි ධ්‍රැවීකරණය විද්‍යාඥයා හෝ දාර්ශනිකයා කෙරෙහි පමණක්‌ නො ව, කවියා කෙරෙහි ද බලපායි. විද්‍යාවේ සහ කාව්‍යයේ විවාදාපන්න සරණ බන්ධනය පසුපස තිබෙන ගාන්ධර්ව විවාහය වන්නේ එම ධ්‍රැවීකරණයයි.

එබඳු ප්‍රේම බන්ධනයක අඳුරු අහුමුළු ද සොයා යන චාරිකාවක්‌ අරඹන්නට අපි අදින්a මුල පුරන්නෙමු. මේ තේමාව කදිමට විත්‍රණය කළ හැකි යමක්‌ ද තිබේ. ඒ වනාහි සිතුවමකි. එයට නිමිති වන්නේ භෞතිකයෙහි පීතෘවරයෙකු වන නිවුටන් ය. එය නිමැවුණේ රොමැන්ටික්‌ යුගයේ මහා කවියකු වු විලියම් බ්ලේක්‌ අතිනි. තත්කාලීන ස්‌වභාව රීතිය ද ඉක්‌මවමින්, නිවුටන් ගේ රූපකාය දෘඪ, අනම්‍ය රේඛා තුළ සිර කළ මේ සිතුවම, සියවස්‌ දෙකක්‌ පුරා බුද්ධි-භාව ද්විත්වයේ විරසක ප්‍රේමය සංකේතවත් කළේ ය. කිවිවර ඇසින් ද එය දකිමු. එවිට බ්ලේක්‌ ගේ නිවුටන් සිතුවම අප ගේ චිත්ත කුටි ද වර්ණවත් කරනු ඇත.

අනුරාධ මහසිංහ
(කථිකාචාර්ය, ගණිත අංශය, කොළඹ විශ්වවිද්‍යාලයය)

 

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya