Monday, January 9, 2012

ගුරු-සිසු ගැටුමට වගකිව යුත්තේ කවුරුන් ද?




මටනම් මෙම ලිපියේ හරවත් කරුණු ගොනු කිරිමක් දක්නට නොලබේ ඔබගේ අදහස් දැනගන්නට කැමැත්තෙමි. :(


තමාට දඬුවම් දුන් දිසාපාමොක්‌ ආචාර්යවරයා වෙතින් පළිගන්නට ක්‍රියා කළ කුමාරයකු ගැන රසවත් කතාවක්‌ ජාතක කතා පොතෙහි එයි. එය රසවත් ය කියන්නේ මේ කුමාරයා සොරා කෑවේ රසවත් තල නිසා ම පමණක්‌ නො වේ. තල සොරෙන් කෑමට කළ දඬුවම ඉවසාගෙන දිගු කලක්‌ බලා සිට රජකම ලද පසු ගුරුවරයා ගෙන් පළිගැනීමට ඔහු ඉටා ගනී. කෙසේ වෙතත් අවසානයේ දී ඔහු තමා කරන්නට යන වරදෙහි බරපතළකම වටහා ගනී.

වර්තමානයෙහි උසස්‌ අධ්‍යාපන ආයතනවල ශිල්ප ලබන කුමාරවරු මේ තරම් ඉවසිලිවන්තයෝ නො වෙති. ගුරුවරයාට පහර දෙන්නට මේ අයට රජකම ද ඕනෑ නැත. ගුරුවරයා ගෙන් පිට වන ඔවදනක්‌ පමණක්‌ ඊට ප්‍රමාණවත් ය. මේ අයට රජකම ලැබුණ හොත් මොනවා වේ දැයි හිතන්නට වත් බැරි ය.

මීට දින කිහිපයකට පෙර ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක සිදු වූ මෙවැනි එක්‌ සිද්ධියක්‌ අද වන විට මාධ්‍ය කටගැස්‌මක්‌ බවට පත් ව ඇත. මේ විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයන අංශයෙහි කථිකාචාර්යවරයකුට දෙවැනි වසරේ සිසුවකු පහර දුන්නේ අවවාදයක්‌ දෙන්නට ගිය අවස්‌ථාවේ ය. සිසුවියකට මේ සිසුවා කරමින් සිටි මානසික හිරිහැර නවත්වන ලෙස කළ අවවාදය කෙළවර වූයේ පහර දීමකිනි. මේ ආචාර්යවරයා රෝහල්ගත කිරීමට ද සිදු විය. සිසුවා බන්ධනාගාරගත කරනු ලැබ ඇත. සිසුවාට ඇප දීම පවා ප්‍රතික්‌ෂේප කරන ලද බව වාර්තා වේ. ඊට හේතුව මේ සිසුවා ගේ ක්‍රියා කලාපය හේතු කොට විශ්වවිද්‍යාලයෙහි සාමය බිඳ වැටේ යෑයි සැක පහළ වීම ය. මේ සිද්ධිය නිසා ආචාර්යවරුන් අතර නොසන්සුන්තාවක්‌ පැන නැඟෙතැයි යන සැකය ද මතු ව තිබේ.

මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ආචාර්යවරයකුට පහර දුන් පළමු වතාව නො වේ. එසේ ම අවසන් වතාව ද නො වනු ඇත. ආචාර්යවරුන්ට පහර දුන්, බැණ වැදුණු, හූ කී, ගල් පහර දුන් අවස්‌ථා එමට ඇත. ළමයින් එක්‌ ව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ මෝටර් රථවලට ලීවලින් පහර දෙනවා මා පෞද්ගලිකව ම දැක ඇත. ගුරු ගෞරවය මෙන්ම සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියෙහි ම විනය පිරිහී ගොස්‌ ඇති බවට නිරන්තර චෝදනා එල්ල වේ. මේ සිංහල අධ්‍යයන අංශයෙහි කථිකාචාර්යවරයාට පහර දීම ගැනත් විශ්වවිද්‍යාලයේ විනය පිරිහීම ගැනත් මා සමග කතා කළ නම හෙළි කිරීමට අකැමැති මහාචාර්යවරියක කීවේ "දැන් ඉන්නේ ළමයින් නො ව තාත්තලා" කියා ය.

"මේ ළමයි ගුරු ගෞරවය මොකද්ද කියා හඳුනන්නේ නැහැ. ගුරුවරයා ගේ වටිනාකම දන්නේ නැහැ. ඉස්‌සර අපි ශිෂ්‍යයො කාලේ ගුරුවරයා දුටුවා ම නැවතිලා හිනා වෙලා යම් ක්‍රමයකට ගෞරවය දක්‌වල ගියේ. දැන් එහෙම නැහැ. මහ මැරයො පිරිසක්‌" එසේ කීවේ විශ්වවිද්‍යාලයක්‌ අසල ජීවත් වන වයස්‌ගත මහත්මයෙකි.

මේ දෙන අර්ථකථන සියලු විශ්වවිද්‍යාල සඳහා පොදු දැයි යන ප්‍රශ්නය මතු වේ.

කලින් සඳහන් කළ කථිකාචාර්යවරයා පහර ලද දිනයේ ම මම කොළඹ ඇල්බට්‌ චන්ද්‍රවංකයේ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගියෙමි. ඒ එහි පුස්‌තකාලයට පොත් කීපයක්‌ අලෙවි කරන්නට ය. ඒ කටයුත්ත සඳහා රැඳී සිටින අතරතුර දී මට අපූරු දසුනක්‌ දැකගත හැකි විය. එය නම් දේශන අවසාන වී යන්නට සැරසෙමින් සිසු සිසුවියන් පිරිසක්‌ ගුරුවරයාට වැඳ ආචාර කරන අන්දමයි. විශ්වවිද්‍යාල භූමියක දී මීට පෙර මා ශිෂ්‍යයන් ගේ වැඳීමක්‌ දැක තිබුණේ නවක වධ අවස්‌ථාවල දී (ජ්‍යෙෂ්ඨයන්ට වඳින කනිෂ්ඨයන්) පමණක්‌ නිසා විශාල කුතුහලයක්‌ ද, දරා ගන්නට බැරි තරම් සතුටක්‌ ද ඇති විය. විවිධ විශ්වවිද්‍යාල වෙත විවිධ කරුණු සඳහා ගොස්‌ තිබුණ ද මෙසේ ගුරුවරයාට වැඳ නමස්‌කාර කරමින්, ශිල්ප ලබන දරුවන් මා දැක තිබුණේ නැත. එනිසා ම ළඟ සිටි අයකුට කතා කොට එසේ ශිෂ්‍යයන් ගුරුතුමාට වඳිනු දැකීමෙන් මා පුදුමයට පත් වූ බව කීවෙමි.

"ඒක මෙහෙ නම් සාමාන්‍ය දෙයක්‌, පීඨාධිපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි ශිෂ්‍යයන් ගේ හැසිරීම ගැන හරියට සැලකිලිමත් වන කෙනෙක්‌. ඔහු ගේ ආදර්ශය නිසා අපේ ළමයි ගුරුවරුන්ට බොහොම භක්‌තිමත්ව සලකනවා." පුස්‌තකාලය අසල සිටි කෙනා එසේ කීවේ ය.

"ඒ කියන්නේ ගුරුවරයාට වැන්දේ නැත්නම් දඬුවම් දෙනව ද?" මම ඇසීමි.

"නැහැ එහෙම නෙමෙයි. දඬුවම වෙනුවට ආදර්ශය හා පහදා දීම තමයි මහාචාර්ය කළුආරච්චි ගේ ආදර්ශ පාඨය. නිතර ම එයා මේ දරු දැරියන්ට කතා කරනවා, උපදෙස්‌ දෙනවා. ඒ ළමයින් ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙනවා." ඔහු පැහැදිලි කළේ ය. පොත් අලෙවිය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා මේ කියන පීඨාධිපති කළුආරච්චි මහතා හමු වීමට යන්නට මට ද සිදු විය. සිසු සිසුවියන් කීප දෙනකු එතැන පෝලිමේ සිට ඔහු මුණ ගැසුණ අතර ඒ අය ආපසු යන විට පීඨාධිපතිවරයාට දණ ගසා වැඳ යනු මට දැකගත හැකි විය. කළුආරච්චි මහතා ගේ කාර්යාලය අසල දී මට තවත් ආකර්ෂණීය දෙයක්‌ දැකගත හැකි විය. එය නම් අතරමඟ දී හමු වන ගුරුවර ගුරුවරියන් එකිනෙකාට හිස නමා ආචාර කිරීමයි. මේවා ව්‍යාජ වූත්, කෘත්‍රිම වූත්, පලකට නැන්තා වූත් දේවල් යෑයි කුහකයකු කියන්නට ඉඩ තිබේ. එසේ ම මේ ශිෂ්‍යයා හා සරසවිය වැඩවසම් ක්‍රමයකට ඇදගෙන යැමක්‌ යෑයි චෝදනා එල්ල වන්නට ද ඉඩ තිබේ. එය මොන නමකින් හැඳින්වුවත් ඒ ක්‍රමවේදය තුළ විශාල ආලෝකයක්‌, සුන්දරත්වයක්‌ ඇත්තේ ය.

එහෙත් පීඨාධිපති කළුආරච්චි මහතා වැනි අයකුට පමණක්‌ මේ විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩගත නොහැකි ය. ගුරු ගෞරවය පිරිහීමට අමතරව තවත් බොහෝ ගැටලුවලින් විශ්වවිද්‍යාල පද්ධතිය ජරාජීර්ණ ව පවතී. අනෙක්‌ අතට විනය පිළිබඳ ගැටලු ඇත්තේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි පමණක්‌ නො වේ. කාර්මික විද්‍යාලවල හා වෙනත් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද විශේෂයෙන් ම පාසල්වල ද විනය පිරිහීම් ගැන සුලබව අසන්නට ලැබේ.

ගුරුවරුන්ට පහර දීම, ගුරුවරුන්ට බැණ වැදීම, අපහාස කිරීම, පෝස්‌ටර් වැනි දේ මඟින් විරෝධය දැක්‌වීම වැනි දේ බොහෝ විට මේ ආයතනවලින් අසන්නට ලැබේ. ගුරුවරුන් සමග ඇති වන ගැටුම්වලට අමතරව ශිෂ්‍ය කණ්‌ඩායම් අතර ඇති වන ගැටුම් පිළිබඳව නිතර ම අසන්නට ලැබේ. විශේෂයෙන් ම විශ්වවිද්‍යාල නම් පීඨ-පීඨ අතර සිවිල් යුද්ධවල ස්‌වරූපය සහිත අරගල ඇති වේ. විවිධ පීඨවලට අයත් සිසු සිසුවියන් පීඨ මට්‌ටමෙන් බෙදී ගල් මුගුරු, පොලු, ෙච්න් හා තවත් විවිධ ආයුධ භාවිත කරමින් සටනේ නියෑළෙනු පෙනේ. අවාසනාව නම් මෙවැනි විටක ගුරුවරුන්ට මේ ගැටුම් පාලනය කරන්නට නොහැකි ව යැමයි. ශිෂ්‍යයන් බොහෝ විට ගුරුවරුන් සමග ගැටුම් ඇති කරගන්නේ පරිපාලන ගැටලු මුල් කරගෙන ය. එසේ ම පෞද්ගලික ප්‍රශ්න ද ඇතැම් විට හේතු වේ. ගුරු-ශිෂ්‍ය ගැටුම්වලට තවත් හේතුවක්‌ වන්නේ නවක වධයයි. නවක වධයට පක්‌ෂ විපක්‌ෂ ශිෂ්‍ය කණ්‌ඩායම් අතර නිරන්තර ගැටුම් දැකගත හැකි ය. උසස්‌ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරු දැරියන් ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයකින් තොර ව මේ ගැටුම්වල මූලය විශ්ලේෂණය කළ නොහැකි වේ. සැබැවින් ම මෙය දේශපාලනිකව සමාජ විද්‍යාත්මකව මෙන්ම මනෝවිද්‍යාත්මකව විග්‍රහ කළ යුතු වේ.

ලෝක තත්ත්වය

ඇමෙරිකානු මනෝවිද්‍යාත්මක සංවිධානයට අනුව ඇමෙරිකාව තුළ හැම වසරක ම ගුරුවරු 2,53000කට ආසන්න පිරිසක්‌, ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතින් පහර දීම්වලට හෝ අවම වශයෙන් වාචික තර්ජනවලට ලක්‌ වෙති. 2004 දී ඇමෙරිකාවේ කරන ලද සමීක්‌ෂණයකින් හෙළි වූයේ 127000කට ආසන්න ගුරු පිරිසක්‌ සිසුන් වෙතින් කායික හිංසාවන්ට ගොදුරු වී ඇති බවයි. සිසුන් වෙතින් හිංසනයට ලක්‌ වන ගුරුවරුන් ගේ බහුතරය ස්‌ත්‍රීන් බව ද වාර්තා වේ. එනම් ගුරුවරුන් 30%ක්‌ හා ගුරුවරියන් 70%ක්‌ වශයෙනි.

විසඳුම්

ඇමෙරිකානු මනෝවිද්‍යාත්මක සංගමය ගුරුවරුන්ට පහර දීම් ගැන විශේෂයෙනුත් ගුරු සිසු සබඳතා පිරිහීම ගැන පොදුවේත් අවධානය යොමු කරමින් අනාගතයේ ගත යුතු ක්‍රියාමාර්ග මෙසේ නිර්දේශ කරයි.

1. පාසල්වල/විශ්වවිද්‍යාලවල උපදේශන සේවා වර්ධනය.

2. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සමීප ව කටයුතු කරන ගුරුවරුන් බිහි කිරීම.

3. විෂය නිර්දේශය සංශෝධනය කෙරෙහි යොමු වීම.

සමීප විය යුතුයි

ඇමෙරිකාවේ හා අපේ රටේ තත්ත්වය සර්වසම නො වුණ ද ඇමෙරිකානු මනෝවිද්‍යා සංවිධානයේ නිර්දේශ අපට ද යම් තරමකට සුදුසු බව පෙනී යයි. විශේෂයෙන් ම ගුරුවරයා සිසුවාට සමීප වීම මඟින් ගුරු සිසු සබඳතා වර්ධනය කරගත හැකි වන අතර බොහෝ ගැටුම් ද වළක්‌වා ගත හැකි වේ. බොහෝ ලාංකික විද්වතුන් ගේ අදහස ද මේ සඳහා වන උචිතම විසඳුම ගුරුවරයා ශිෂ්‍යයාට වඩාත් සමීප වීම බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා මේ ගුරු සිසු සබඳතා පිරිහීමේ වරද පටවන්නේ නූතන සරසවි විභාග ක්‍රමය වෙතයි.

"සිසුන් ගේ විභාග මානසිකත්වය නිසා ගැටලු ඇති වෙලා. එනිසාම ගුරු-සිසු සබඳතා පවත්වන්න වෙලාවක්‌ නෑ. ආචාර්යවරයෙක්‌ විෂය නිර්දේශය ආවරණය කරනව විනා සිසුන් ගේ මානසිකත්වය අවබෝධ කරගන්න බලන්නේ නැහැ. එහෙම කරන්න වෙලාවකුත් නැහැ. අනෙක ශිෂ්‍ය ශිෂ්‍යාවන් වුණත් බයයි සබඳතා ගොඩ නඟාගන්න. මොකද ඒ ගොල්ල තුළ වුණත් විශ්වාසයක්‌ නැහැ ගුරුවරයා ගැන.

මහාචාර්ය ඥානදාස පෙරේරා යනු විශ්වවිද්‍යාල කීපයක ම මනෝවිද්‍යාව පිළිබඳ දේශන පවත්වන එසේ ම සිසුන් හා මනා සබඳතාවක්‌ පවත්වන ගුරුවරයෙකි. ඔහු අතීත විභාග ක්‍රමය තුළ පැවැති නිදහස වර්තමාන සිසුවාට අහිමි වී ඇති ආකාරය ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක්‌ කරයි. සැබැවින් ම අතීතයේ දී විභාග පැවතියේ වසරකට එක්‌ වරක්‌ පමණි. එහෙත් ඒකක ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ඉතා කෙටි කලකින් විභාග පැවැත්වෙයි. එනිසා ගුරු-සිසු සබඳතා වර්ධනය වන ක්‍රියාකාරකම්වල යෙදෙන්නට සිසුන්ට වෙලාවක්‌ නැත. මේ වෙලාව පිළිබඳ ගැටලුව ගුරුවරුන්ට ද බලපායි. ඔවුන්ට අද ප්‍රශ්න පත්‍රයක්‌ සාදා හෙට උත්තර බලා යළි අනිද්දාට තව ප්‍රශ්න පත්‍රයක්‌ හදන්නට සිදු ව තිබේ.

කැලණි විශ්වවිද්‍යාලයයේ ප්‍රධාන විනයාරක්‌ෂක (මාෂල්) තනතුර හොබවන හෙට්‌ටියාදුර ප්‍රසාද් බ්‍රින්ඩ්ලි සෙනරත් ප්‍රනාන්දු මහතා ගේ අදහස වන්නේ ද ගුරු සිසු සමීපතාව ඉතා වැදගත් බවයි.

"මා විද්‍යා උපාධියෙන් පසු නාවික හමුදාවේ උප ලුතිනන්වරයකු හැටියට සේවය ආරම්භ කර වසර 10කට පසු නීත්‍යනුකූලව ඉවත් වී කැලණි සරසවියේ මාෂල් තනතුරෙහි රාජකාරී බර ගත්තා. මා ආ ගමන් හඳුනා ගත්තා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය දේ මොනව ද කියා. ඔවුන්ට ක්‍රීඩා ගැන ලොකු පිපාසයක්‌ තිබුණා. ඒ සංසිඳුවා ගැනීමට තිබූ එක ම ස්‌ථානය ක්‍රීඩා ශාරීරික අධ්‍යාපන අංශය පමණයි. ළමයින් තුළ ප්‍රශ්න ඇති වීමට මූලික හේතුව ජීවන ප්‍රශ්න. ඒ වගේ ම කැපී පෙනීමට ඇති ආසාව. ක්‍රීඩාව කැපී පෙනීමේ තෝතැන්නක්‌. මං හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකට ම කතා කරල පෞද්ගලිකව ම ක්‍රීඩාවට යොමු කළා. ඔවුන්ව මං පුහුණු කළා විවිධ ක්‍රීඩාවලට. ඒ නිසා ළමයින්ට සමීප වෙන්න හැකි වුණා. මේ සඳහා මට අනුදැනුම ලැබුණේ අපේ උපකුලපතිතුමා වෙතින්. එතුමා උපදෙස්‌ දුන්නේ ශිෂ්‍යයන් ක්‍රීඩා වැනි යහපත් ක්‍රියාකාරකම්වලට යොමු කරන්න කියා. එනිසා ශිෂ්‍ය ප්‍රශ්න පහසුවෙන් විසඳාගත හැකි වුණා. අපේ විශ්වවිද්‍යාලය තුළ නම් හොඳ ගුරු සිසු සබඳතාවක්‌ පවතිනවා. උපකුලපතිතුමා ළඟට මෙහි විනය සම්බන්ධ විශාල වගකීමක්‌ මට තිබෙනවා. පීඨාධිපතිවරුන් ගේ හා ආචාර්යවරුන් ගේ සහාය මට හොඳින් ලැබෙනවා. මා දන්නා ඉතිහාසය තුළ ආචාර්ය මණ්‌ඩලය සමග බරපතළ ගැටුම්, පහර දීම් වැනි දේ අපේ දරුවන් ඇති කර ගත්තේ නෑ. මං අපේ සරසවියේ ළමයින්ට අමතන්නේ "දරුවෝ" කියලයි. සැම විට ම සියලු ගුරුවරුන් දැනගත යුතු දෙයක්‌ වන්නේ සිසුන් ගෙන් ඈත් වීම නො ව ළං වීම වැදගත් බවත්, ඔවුන් අපි සියලු දෙනා ගේ දරුවෝ බවත්.

උසස්‌ අධ්‍යාපන ආයතනවල ගැටුම් දුරදිග යන්න ප්‍රධාන හේතුවක්‌ ලෙස මා දකින්නේ ගුරුවරු ශිෂ්‍යයන්ට සමීප නො වීමයි. මේ වරද අප හදාගන්න ඕනෙ. මං ගුරුවරුන්ට ආදරයෙන් මතක්‌ කරල දෙනව මේ අපේ දරුවො, ඔවුන්ට ළං වෙන්න, සවන් දෙන්න. ඔවුන්ව හදාගන්න අපට පුළුවන්." ඒ ඔහු ගේ අදහස්‌ ය.

විශ්වවිද්‍යාලයක විනය කටයුතු බාර ව ඇත්තේ මාෂල්වරයාටයි. එහෙයින් කැලණි සරසවියේ මාෂල්, ප්‍රනාන්දු මහතා ගේ අදහස්‌ ද ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි ය.

සිසු දරු දැරියන්ට සමීප වීම ගුරුවරුන් ගේ යුතුකමක්‌ වන අතර ඔවුන් වටහා ගන්නට ගුරුවරයා උත්සාහ දැරිය යුතු වේ. එහෙත් ශිෂ්‍යයන් ගේ පැත්තෙන් සිතන්නට අකැමැති ගුරුවරුන් ද සිටින බව අප අමතක කළ යුතු නො වේ. මා කතා කළ එක්‌තරා විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක පැවසුවේ ඇතැම් ශිෂ්‍ය උපදේශකයන් ළමයින් ගේ පක්‌ෂය නො ගෙන බලධාරීන් ගේ පක්‌ෂය පමණක්‌ ගන්න නිසා ළමයින් තුළ ගුරු ගෞරවය බිඳ වැටෙන බව ය. "මා දන්නා තරමින් නම් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් හොඳයි. ඔවුන් කවදා වත් අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ. මේ අයට උදව් දෙන්නයි ශිෂ්‍ය උපදේශකයන් ඉන්න ඕනේ. එහෙත් එහෙම නො වන අයත් සිටිනවා." ඒ ඇය කී දෙයයි.

ගුරුගෝල ගැටුම් සඳහා මත්පැන් ද හේතුවක්‌

නවතම අධ්‍යයනයකින් හෙළි ව ඇත්තේ උසස්‌ අධ්‍යාපන ආයතනවල හිංසනය ඉහළ යැම සඳහා ශිෂ්‍යයන් ගේ මත්පැන් භාවිතය මූලික හේතුවක්‌ වී ඇති බවයි. ඔබ එක්‌ වර ම කලබල විය යුතු නැත්තේ මේ අධ්‍යයනය අපේ රටට අදාළව කරන ලද්දක්‌ නො වන බැවිනි. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු පළ වන්නේ ඇල්කොහොලිසම් ක්‌ලිනිකල් ඇන්ඩ් එක්‌ස්‌පෙරිමන්ටල් රිසර්ච් ජර්නලයෙහි ය. මේ අධ්‍යයනය මෙහෙයවන ලද්දේ Centre for Addiction ආයතනයේ මහාචාරිනී සැමන්ටා වෙල්ස්‌ ඇතුළු පිරිස විසිනි. ඇගේ අධ්‍යයනය සඳහා විශ්වවිද්‍යාල 40ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6282ක ගේ දත්ත භාවිත කරන ලදී. එම අධ්‍යයනයේ දී පෙනී ගියේ මත්පැන් හේතු කොටගෙන සිසුන් වෙනත් සිසුන් සමග ද, ගුරුවරුන් සමග ද ගැටුම් ඇති කර ගන්නා බවයි. ඇතැම් විට ශිෂ්‍යයන් සමග ගුරුවරුන් ද මත්පැන් පානයට හවුල් වන අතර එවැනි අවස්‌ථාවල මෙවැනි ගැටුම් ඇති වීමේ ඉඩකඩ වැඩි වේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මත්පැන් පානයට ඉඩකඩ ලැබෙන අවස්‌ථා සුලබ බව ද අධ්‍යයනය පෙන්වා දෙයි. මේ අධ්‍යයනයට අනුව ප්‍රිය සම්භාෂණවල දී මත්පැන් ගැනීම නිසා සිසුහු ගැටුම්කාරී තත්වවලට බහුලව යොමු වෙති. මත්පැන් ගන්නා සිසුවා සමග ඔහු ගේ පෙම්වතිය ද එම ස්‌ථානයේ සිටිනවා නම් සිසුන් ගැටුම් යොමු වීමේ අවකාශ ඉහළ යන බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි.

මෙවැනි අධ්‍යයනයක්‌ මඟින් තහවුරු කළ නොහැකි වුවත් අප ගේ විශ්වවිද්‍යාලවල තත්ත්වය මීට වෙනස්‌ වෙතැයි සිතිය නො හේ. අද විශ්වවිද්‍යාල සිසුන්ට ද විශාල පරිමාණයේ ප්‍රශ්න ඇතත් ප්‍රිය සම්භාෂණ ද නිමක්‌ නැත. අලුතින් සිසුන් ආපසු ඔවුන්ට ලබා දෙන නවක සාදය (Freshers night), වසරාවසාන සාද, සමුගැනීමේ සාද, විවිධ උත්සවවලට අදාළව පැවැත්වෙන සාද මෙවැනි ප්‍රිය සම්භාෂණවලට නිදසුන් වේ.

සිසුහු බොහෝ දෙනෙක්‌ විභාග අවසන් වූ පසු මත්පැන් සාද දමති. අතීතයේ දී මෙන් නො ව ඒකක ක්‍රමයට (Unit System) වසරකට කීප වතාවක්‌ විභාග පැවැත්වෙන බැවින් ඉස්‌සර ශිෂ්‍යයන්ට වැඩියෙන් දැන් අයට බොන්නට අවස්‌ථා වැඩි ගණනක්‌ ලැබී තිබේ. මා හා කතා කළ ඇතැම් සිසුන් පැවසුවේ මේ යුනිට්‌ ක්‍රමය නිසා විෂය කටයුතුවලට ඇලී ඉඳින්නට තමන්ට සිදු වන නිසා එමඟින් ඇති වන ආතතිය, බීමට පෙලඹවීමක්‌ ඇති කරවන බව ය.

පොලිසිය හා ගැටුම්

විශ්වවිද්‍යාලයක පොලිසි නිසා ගැටලු ඇත් වන්නේ ආසියාතික රටවල පමණක්‌ නො වේ. 2011 ඔක්‌තෝබර් 10 වැනි දා ඇමෙරිකාවේ ඨැදරටැ ඵ්sදබ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ප්‍රාදේශීය බලධාරීන්ට වාර්තා කළේ සරසවියෙහි පිහිටුවා ඇති පොලීසිය ඉතා අසාධාරණ ලෙස හා පක්‌ෂපාතීව කටයුතු කරන බවයි. විශේෂයෙන් ම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සුළු ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන් ඉතා අකාරුණික ලෙස සලකන බව ශිෂ්‍යයෝ පෙන්වා දෙති. එසේ ම සරසවිය තුළ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීම ගැන මේ ශිෂ්‍ය කණ්‌ඩායම් විරෝධය පායි. එහෙත් එහි පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවනු ලැබුවේ 2011 මාර්තු මාසයේ දී ශිෂ්‍යයන් අතර ඇති වූ දරුණු ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙසට ය.

විශ්වවිද්‍යාලවල ගැටුම් අවස්‌ථාවල සිසුන්ට ආරක්‌ෂක අංශ පහර දෙන අවස්‌ථාවල නොසැලකිලිමත්කම මත ආචාර්යවරුන්ට පහර දුන් අවස්‌ථා ද වාර්තා වේ. මෙවැනි සිද්ධි නිසා ගුරු ගෞරවය මෙන්ම ගුරු සිසු සබඳතා දෙදරා යන්නට ඉඩ තිබේ.

මවුපියන් ද වගකිව යුතුයි

ප්‍රකට භාරත අධ්‍යාපන විශේෂඥවරියක වන Nabiha Meher පෙන්වා දෙන්නේ ගුරු සිසු සබඳතා බිඳී යැමට ගුරුවරුන් සිසුන් මෙන්ම මවුපියන් ද වගකිව යුතු බවයි. බොහෝ මවුපියන්ට තම දරුවා වැරැදි කරන්නකු බව අවබෝධ කර දීම අපහසු බව ඇය කියයි. වරදක්‌ කරන දරුවකු ගැන මවුපියන්ට දැන්වූ විට මවුපියන් ඒ ගැන නො සලකා ගුරුවරයාට චෝදනා නඟන බව ඇය තම අත්දැකීම් ඇසුරෙන් පෙන්වා දෙයි. Nabiha Meher වරක්‌ දඟ වැඩක නිරත වූ පිරිමි දරුවකුගේ වරදක්‌ ලියා ඒ සටහන දරුවා ගේ මව වෙත යෑව්වේ ඒ සටහනට අත්සනක්‌ ලබා දෙන ලෙස දන්වමිනි. එහෙත් මව ආපසු ඒ සටහන එවා තිබුණේ ගුරුවරිය කී දේ තමා නො පිළිගන්නා බව දන්වමිනි. මවුපියන් මෙලෙස අසාධාරණ ලෙස දරුවන් ගේ පැත්ත ගැනීම දරුවන්ට ඉදිරියේ දී නිදහසේ වැරැදි කරන්නට දෙන අවසර පත්‍රයක්‌ බඳු යෑයි Meher පවසයි.

අපේ රටේ මවුපියන් අද ගුරුවරුන් ගේ දඬුවම් සම්බන්ධයෙන් දක්‌වන ප්‍රතිචාර ගැන අවධානය යොමු කරන්නට කැමැත්තෙමි. දඬුවම් දෙන ගුරුවරුන්ට එරෙහි ව පොලිසි උසාවි හා මානව හිමිකම් කොමිසම් කරා යන ප්‍රවණතාවක්‌ අද ඇති ව තිබේ. මේ ප්‍රශ්නය ඉතා සංකීර්ණ එකකි. තම දරුවකු අමානුෂික පහර ලැබීමකින් වළක්‌වා ගන්නට මවුපියන්ට ඇති අයිතිය අප පිළිගත යුතු වේ. එය දරුවා ගේ ද සිවිල් අයිතියකි. එහෙත් ඒ අයිතිය පළිහක්‌ කර ගනිමින් සැබෑ ගුරුවරුන් දඟ ගෙයට යෑවීමට කටයුතු කෙරෙනවා නම් එය ශෝචනීය කරුණකි. ගුරුවරයකු සාමාන්‍යයෙන් දරුවකුට පහරක්‌ දෙන්නේ දරුවා හොඳ මඟට ගැනීමේ අරමුණෙනි. (මේ අතර ඉතා කලාතුරකින් අමනෝඥ ගුරුවරුන් ද නො සිටිනවා ම නො වේ) දරුවා හොඳ මඟට ගන්නට සුළු දඬුවමක්‌ දෙන ගුරුවරයාට උසාවියකින් මහා දඬුවමක්‌ ලබා දෙන්නට කටයුතු යෙදීම කෙතරම් නිහීත ක්‍රියාවක්‌ ද?

පාසල් තුළ දඬුවම් ක්‍රම භාවිතය සුදුසු ද නුසුදුසු ද යන්න අද කතිකාවට බඳුන් ව ඇති මාතෘකාවකි. සමහරුන් කියන්නේ ඉස්‌සර මෙන් වේවැල හොඳහැටි පාවිච්චි කෙරෙනවා නම් මේ කියන ගැටලු කිසිවක්‌ මතු නො වන බවයි. ඉස්‌සර වේවැලෙන් දෙන දඬුවම හඳුන්වන ලද්දේ ද වේවැල් කෂාය යනුවෙනි. එමඟින් අර්ථවත් වන්නේ ද එය තරහකට කරන ලද පහර දීමක්‌ නො ව අර්බුදයකට ඔසුවක්‌/පිළියමක්‌ බවයි. සමහර පාසල්වල ශාරීරික දඬුවම් ක්‍රමය තවමත් භාවිත කෙරේ. විශ්වවිද්‍යාලවල වැරැදි කරන අයට වේවැල් කෂාය ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට කෙරෙන්නේ පංති තහනමයි.

වේවැල් කෂාය වුවමනායි

කැනඩාව තුළ රාජ්‍ය මැදිහත් වීමෙන් Leger Marketing නම් වූ පෞද්ගලික සංවිධානය මඟින් මෙහෙයවන ලද සමීක්‌ෂණ මඟින් හෙළි වූයේ එරට මවුපියන් ගෙන් සියයට හැට නවයක්‌ ම දරුවාට පාසලේ දී හා නිවසේ දී කායික දඬුවම් දීම (සාධාරණ හේතු මත) අනුමත කරන බවයි. කිසිදු හේතුවක්‌ මත දඬුවම් දීම නො කළ යුතු යෑයි කියා සිටියේ 21.9%ක ප්‍රතිශතයක්‌ පමණි. 9.1%ක ප්‍රතිශතයක්‌ උත්තරයක්‌ දීමෙන් වැළකී සිටිය හ.

වරද ගුරුවරුන් ගේ ද?

කෙසේ වෙතත් ශිෂ්‍ය ගුරු සබඳතා බිඳ යැම ගැනත් ශිෂ්‍ය විනය පිරිහී යැම ගැනත් මා හා අදහස්‌ දැක්‌වූ බොහෝ මවුපියන් හා වැඩිහිටියන් චෝදනාව එල්ල කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් පොදුවේ ගුරුවරුන්ටත් ය. ඔවුන් කියා සිටියේ අතීතයේ සිටි අධ්‍යාපනය හා ශිෂ්‍ය විනය නඟා සිටුවන්නට වෙර දැරූ ගුරු උතුමන් වෙනුවට දැන් සිටින්නේ වාණිජකරණයට ලක්‌ වූ අමුතුම පිරිසක්‌ බව ය.

ගුරුවරුන් ශිෂ්‍යයන්ට "මචං" කියන තත්ත්වයට වැටී ඇති බවත් ඇතැමුන් සිසුන් හා එක්‌ ව මත්පැන් බී වෙරි වී තැන තැන වැටී සිටින බවත් ඇතැමෙක්‌ චෝදනා කළ හ. එසේ ම විශ්වවිද්‍යාලයයේ උගැන්වීම පසෙක ලා ටියුෂන් දීමේ නිරත වන බවත් පෞද්ගලික උන්නතිය කතා දේශපාලන ව්‍යාපෘති ද කර තබාගෙන සිටින බවත් චෝදනා කළ හ. විවිධ එන්ජීඕවලට සිය දැනුම අලෙවි කරමින් මඩිය තර කර ගන්නට හදන අය ගැන ද ඔවුහු අදහස්‌ දැක්‌වූ හ. තව ද ගුරුවරුන් ගුරුවරුන් අතර භේද ඇති කරවීමට මුල් වන ආචාර්ය මහාචාර්යවරුන් ගැන ද මේ අය සිය අප්‍රසාදය පළ කළ හ.

මේ පොදු ජනතාව ගේ චෝදනාවලට පිළිතුරු සෙවීම සඳහා අප තෝරා ගත්තේ කීර්තිමත් සමාජ විද්‍යාඥයකු වන ආචාර්ය මහීම් මෙන්ඩිස්‌ මහතායි. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා හා මානව ශාස්‌ත්‍ර පීඨාධිපතිවරයා ද වේ.

"මේ ගැටලුවලට කවුරුන් හෝ ආචාර්යවරුන්ට චෝදනා කරනවා නම් අප එය එකහෙළා ප්‍රතික්‌ෂේප කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියන්නේ බොහොම විනයගරුක පිරිසක්‌. අප තුළ ඇති විනය හරහා තමයි අප සිසුන් පෝෂණය කරන්නේ. ආචාර්යවරුන්ට චෝදනා කරන්නේ පටු වාසි ගන්න උත්සාහ කරන අය. සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින් මේ ප්‍රශ්න දිහා බලමු. ප්‍රබල ම සමාජ සංස්‌ථාව වන රාජ්‍යය විශාල ලෙස පිරිහිලා. මේ පිරිහීම අන් සියලු සමාජ සංස්‌ථාවලට අහිතකර බලපෑම් ඇති කරනවා. එය තමයි හැම දේට ම මුල. ළමයින් ගේ විනය හොඳ නැහැ කියා ඇඟිල්ල දික්‌ කරනවා. ශිෂ්‍ය විනය දියුණු කරන්න අවශ්‍ය ගුරු සම්පත වර්ධනය කරනවා ද? නැහැ. විශ්වවිද්‍යාල පහළොවක්‌ තියනව ඒ හැම එකක්‌ ම සැලකු කල ආචාර්ය උපාධිධාරීන් සිටින්නේ සියයට විස්‌සයි. රටේ ඉහළ ම බුද්ධිමතුන් රට හැර යනවා. ඒ සම්පත නඟා සිටුවන්නේ නැති ව ඔය කියන ගුරු සිසු සබඳතා හොඳ තත්ත්වයකට ගෙනෙන්නේ කෙහොම ද?"

මෙන්ඩිස්‌ විද්වතා නඟන මේ පැනයෙහි ද පදනමක්‌ තිබේ. ආචාර්යවරුන් කිසියම් අතෘප්තිමත් බවකින් පසු වෙත් නම් ඔවුන් ගෙන් සැබෑ මෙහෙයක්‌ බලාපොරොත්තු විය හැකි ද? ආචාර්යවරුන් ටියුෂන් කාරයන් සේ හංවඩු ගසනා අය ඔවුන් ගේ වැටුප් ප්‍රශ්න ගැන සානුකම්පිතව සලකා බලා තිබේ ද?

මේ ප්‍රශ්නය හදිසියේ ප්‍රාදූර්භූත වූවක්‌ හෝ හුදකලා ගැටලුවක්‌ සේ නිර්වචනය දෝෂ සහගත යෑයි සිතේ. පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සරසවි විනය ගැන දැක්‌වූ මේ අදහස හරහා ලිපිය නිමා කිරීම සුදුසු යෑයි සිතමි.

"අපේ ජනමාධ්‍ය හා සමාජය හදිසියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගේ විනය පිරිහිලා කියා හඳුනා ගත්තේ කොහොම ද? එහෙම දෙයක්‌ ඇත්තට ම පිළිබිඹු වෙලා නම් එමඟින් පිළිබිඹු වන්නේ සමස්‌ත සමාජයේ ම විනය පිරිහීම නො වේ ද? මේ දේශපාලකයන් හා බලධාරීන් ඇතුළත් සමස්‌ත සමාජයේ ගැටලුව ම නො වේ ද, මේ ශිෂ්‍ය ගුරු ප්‍රශ්න හරහා පිළිබිඹු වන්නේ?"

ඔහු ගේ මේ තර්කය ගැන ද ගැඹුරෙන් සිතා බැලීමට කාලය එළැඹ ඇත.

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya