Sunday, September 18, 2011

අගය කළයුත්තේ කවුරුන්ද?


මිනිස්‌ ලොව තුළ මිනිසුන් හැටියට ජීවත් වන කාලය තුළ දී ජීවත් වීම පහසුවීම සඳහා අප විසින් දැන ගත යුතු දේවල් බොහෝය. බොහෝ විට අප විසින් උගත යුතු දේවල් පිළිබඳව කථා කරද්දී අප සිතන්නේ පාසල් අධ්‍යාපනය පිළිබඳවයි. නමුත් අප ඉගෙන ගන්නවා යෑයි කියමින් විභාග සඳහා සූදානම් වන විෂය ධාරාවන් වලට ඇතුළත් නොවන එහෙත් අපගේ ජීවිත සාර්ථකත්වයට බෙහෙවින් බලපාන අප විසින් පුරුදු පුහුණු කර ගත යුතු ඉතා වටිනා ගුණාංග රාශියක්‌ තිබෙනවා. ඒවා අතරින් එක්‌ දෙයක්‌ තමයි අගය කිරීම.

අගය කළ යුත්තේ කාවද කෙසේද මොනවාද යන්න පිළිබඳව අවධානය යොමු කරන විට මේ ගැන නොයෙක්‌ අයුරින් සිතෙන්නට පුළුවන්. අප බොහෝ විට අප සතුව තිබෙන නොයෙක්‌ දේවල් අගය කරනවා. තමා සතු වත්කම් සුඛෝපභෝගී භාණ්‌ඩ, තමාගේ උගත් කම, රැකියාවෙ උසස්‌ බව නිලතල තනතුරු මේ ආදී සෑම දෙයක්‌ම අගය කළ හැකිය. බොහෝ අය දන්නා කථාවක්‌ තිබෙනවානේ අර නයාගේ කථාව එක්‌ කාන්තාවක්‌ තම නිවසට පැමිණි නයෙක්‌ නිවස පුරා ගිය ගමන් මාර්ගය විස්‌තර කළේ ඇය සතු සුඛෝපභෝගි භාණ්‌ඩවල අගය ඉස්‌මතු වන ආකාරයටය.

නමුත් අගය කළ යුතු ආකාරය නිවැරදිව අවබෝධ කර ගැනීම ද ඉතා අගනේය. තමාට ජීවත්වීම සඳහා ලැබී තිබෙන පරිසරය සම්පත් අගය කරමින් ඒවා රැක ගැනීම අවශ්‍ය වේ. එහෙත් අපට ජීවත් වන කාලය තුළ දී පමණක්‌ භුක්‌ති විඳිය හැකි ටික කලකට පමණක්‌ ලැබී තිබෙන භෞතික සම්පත්වල අගය තක්‌සේරු කරමින් ඒවා ගැන ආඩම්බර වී තව කෙනෙකුට ඒවායේ අගය පෙන්වමින් කටයුතු කිරීමෙන් තමාට යහපතක්‌ වෙනවාද යන්න සිතා බැලිය යුතු කාරණයකි.

ඊට වඩා අන් අයගෙන් අපට ලැබෙන ආදරය සහයෝගය රැකවරණය යන මේවා අප ඉතා අගය කළ යුතු වෙනවා. එසේම අන් අයගේ හොඳ යහපත් ක්‍රියා කාරකම් දක්‌ෂතා කුසලතා අගය කිරීමට පුරුදු වන්නේ නම් තම පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයට එය ද එක්‌ හේතුවක්‌ වෙනවා.

එසේ අන් අයගේ දක්‌ෂතා කුසලතා යහපත් ක්‍රියාදාමයක්‌ අගය කරමින් ජීවත් වූ පුද්ගලයෙකු මිය ගිය පසුවද ජීවත්ව සිටින අය ඔහුගේ හෝ ඇයගේ එම ක්‍රියා කලාපය දැඩි ප්‍රසාදයකින් යුතුව කථා කරනු ඇත. එවිට ඔහු හෝ ඇය දුන් සුවඳ බොහෝ කාලයක්‌ අන් අය අතර රැඳී පවතිනු ඇත. එයා මගේ හැකියාව අගය කළ නිසයි ඉන් දිරිමත් වී අද මම මේ ස්‌ථානයට පැමිණ සිටින්නේ. එයා මගේ හැකියාව දක්‌ෂතාවය අගය කළා. ඒවා තව දියුණු කර ගැනීමට ඔවදන් දුන්නා. ඒ නිසයි මම මේ තැනම ආවේ. කියමින් තමා තව කෙනෙකු අගය කිරීම නිසා ඔහු හෝ ඇය ජයග්‍රහණයක්‌ ලැබුවා යෑයි කියමින් තමාව පැසසුමට ලක්‌ කරන විට එය මොන තරම් සතුටක්‌ද? එබැවින් අගය කිරීම සුළුවට සිතිය යුතු දෙයක්‌ නොවේ.

සිතා බලන්න දරුවෙකු චිත්‍ර ඇඳීමට, ලේඛන කටයුතුවලට ගායනයට හෝ වෙනත් කිසියම් දෙයකට සහජ දක්‍ෂතාවයක්‌ දක්‌වන්නේ නම් එය වැඩිහිටියන් අගය කරන්නේ නම් එයින් දිරිමත් වන දරුවාගේ අනාගතය ඒ තුළින්ම සාර්ථක වීමට ඉඩ තිබෙනවා. එසේ නම් දරුවන්ගේ දක්‍ෂතා කුසලතා අගය කිරීමෙන් ද ලැබෙන ප්‍රතිඵලය ඉතාම ශුභවාදීවේ.

අගය කිරීම නම් වූ මෙම උතුම් ගුණාංගය පිළිබඳ ව සිතා බලද්දී මෙයට විරුද්ධව සිත් තුළ ජනිත වන අශුභවාදී දෙයක්‌ ද ඇත. ඒ ඊර්ෂ්‍යාවයි. ඇතැම් විට අපට කෙනෙකුගේ හොඳ යහපත් ක්‍රියාවක්‌ දක්‍ෂතාවයක්‌ කුසලතාවයක්‌ දුටු විට එය අගය කරනවාට වඩා ඒ පිළිබඳව යටි සිතේ ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ද පහළ වන අවස්‌ථා තිබිය හැක. එසේ කිරීමෙන් අසාර්ථකත්වයට පත් වන්නේ තමාමය. අන් අයට ඊර්ෂ්‍යා කිරීමෙන් පිරිහීමට ලක්‌වන්නේ තමාමය.

ඇතැම් අය කියනවා මම කොච්චර හොඳ කළත් හොඳක්‌ අහන්න නැහැ මම එයාට මොන දේ කළත් කොපමණ හොඳ දේවල් කළත් එයාට අගයක්‌ නැහැ. එයා මගේ අගයක්‌ දකින්නේම නැහැ කියලා.

එබැවින් අන් අය අගය කිරීමට තරම් ප්‍රසන්න ප්‍රියමනාප මානසිකත්වයක්‌ කෙනෙකු තුළ නොමැති නම් කෙනෙකුගේ දක්‌ෂතාවයක්‌ හොඳ ක්‍රියාවක්‌ අගය කිරීමට මැලිවන්නේ නම් ඒ පිළිබඳව ඇති වන්නේ සියුම් ඊර්ෂ්‍යාවක්‌ නම් එවැනි තැනැත්තෙකුට හෝ තැනැත්තියකට කිසි විටෙක ප්‍රශංසා ගරු බුහුමන් නොලැබේ. එවැන්නෝ බොහෝ විට හුදකලාවේ.

අනෙකා අගය කිරීමේ ගුණාංගය පවුලක්‌ තුළ ද තිබිය යුතු අත්‍යාවශ්‍ය ගුණාංගයකි. නිවස තුළ දී සිය මව්තුමිය, සොයුරිය හෝ බිරිඳ හෝ ආහාර පිළියෙල කර සියලූදෙනාම එක්‌ වී ආහාර ගන්නා අතර අඩු තරමින් කෑම රසවත් කියමින් ඒවා අගය කළ හැක. ඉන් ලැබෙන ප්‍රතිඵලය ඉතා යහපත් වනු ඇත. එවිට ඇය නිරතුරුවම ඉතා ඕනෑකමින් සතුටින් රසවත්ව ආහාර පාන පිළියෙල කර දීමට පෙළඹෙනු ඇත.

ඇතැම් අය කිසියම් උත්සවයකදී ලබාගත් ආහාර වේලක රසවත් බව හෝ හිතවතෙකු ගේ නිවසකට ගිය විට ලැබුණ තේ කෝප්පයක රස තම නිවැසියන් සමග කීපවතාවක්‌ම පවසමින් ඒවා අගය කරන අවස්‌ථා තිබෙනවා. එසේ අගය කිරීම ද හොඳය.

නමුත් නිවසේ දී දිනපතාම තේ කෝප්ප කීපයක්‌ම පිළියෙල කර දෙන අතර දෛනිකව නොවරදවා තුන් වේලටම ආහාර පිළියෙල කර දෙන මව, සොයුරිය හෝ බිරිඳ ඇඟයීමකට ලක්‌ නොවන්නේ නම් එවැනි පවුලක්‌ තුළ සාමය සතුට රජවෙයිද?

යුග ජීවිතය තුළ සැමියා සහ බිරිඳ අතර එකිනෙකා අගය කිරීමේ පුරුද්දක්‌ නොමැති නිසාවෙන් ඇතැම් පවුල්වල සුහදතාවය බිඳී යැමට එය ද හේතුවක්‌ වී තිබෙනවා. එබැවින් එක පවුලක එකට ජීවත් වන පවුලේ සාමාජික සාමාජිකාවන් අතර එකිනෙකා අගය කිරීමේ ගුණාංගය තිබිය යුතුම දෙයකි.

අප ඉතා හොඳින් අවබෝධ කරගත යුතු වන්නේ කෙනෙකු තමා සතු වත්කම් උගත්කම යනාදිය පිළිබඳව තමා විසින්ම උද්දාමයෙන් කථා කරනවාට වඩා නිතරම පුරුද්දක්‌ කරගත යුතු වන්නේ අනෙකාගේ හොඳ ගුණාංග දක්‍ෂ්තා යහපත් ක්‍රියාවන් අගය කිරීමටයි. පවුල් ඒකකය තුළ දී එසේ එක්‌ අයෙකු අනෙකා අගය කරන විට අනෙකාද නිරායාසයෙන්ම ඔහුව හෝ ඇයව අගය කිරීමට පෙළඹෙනවා.

එබැවින් පවුල් ඒකකය තුළ තම ජීවිතයේ කොටස්‌කරුවන් කොටස්‌ කාරියන් කරන කියන දෑ නිරතුරුවම අගය කිරීම පුරුද්දක්‌ කර ගත හැකි නම් තම පවුලේ සාර්ථකත්වයට එය ද රුකුලක්‌ වනු ඇත. අන් අය අගය කිරීමේ උතුම් ගුණාංගය ආරම්භ කළ යුතු වන්නේ තම නිවසිනි.


සුරම්‍යා අතුකෝරළ

2 comments:

  1. මහේෂ් . .

    ඔයාගේ ගොඩක් හොඳ ලිපි තියෙනවා කියලා දැක්කා . .

    ඊයේ කතන්දර කාරයා ගූගල් බස් එකේ දාපු ලින්ක් එකෙන් තමයි ඔයාගේ බ්ලොග් එකට ආවේ.

    ඇත්තෙන්ම තමන් ලියන ඒවා අනෙක් අය අතරට ගෙනියන්න ඕන කමෙන්ට් එන්න නම් . .

    ඒවාට සින්ඩිකේටර, ෆේස්බුක්, ගූගල් බස් වගේ මාධ්‍ය යොදා ගන්න ඕන . .

    එහෙමත් නැති නම් වෙන බ්ලොග් වල කමෙන්ට් කරන්න . .

    එතකොට ඒ අය ඔයාගේ ලින්ක් එක දිගේ ඇවිත් ඔයාගේ බ්ලොග් එක හොයා ගනන්වා . . . කොමෙන්ට් කරනවා . .

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න . . ඒක තිබාම ගොඩක් අය අකමැතියි කමෙන්ට්ස් දාන්න . .

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya