Thursday, September 15, 2011

අඩ්ඩඩ්ඩා මේ ලංකාවේ අපේ ඇත්තෝගේ වැඩ

පාරම්පරික ගොවිතැන දිරිගන්වන නිර්මාණාත්මක ව්‍යායාමයගොයම් තොරණ


ලංකාවාසීන්ට තොරණ අරුමයක්‌ නො වේ. මේ සියලු තොරණවල පොදු ලක්‌ෂණ රැසකි. මේ සියල්ලක්‌ ම පොළොවේ සිට ඉහළට සිරස්‌ව නිර්මාණය වී තිබීම ඉන් එකකි. සියල්ලක්‌ ම අජීවී නිර්මාණයන් ය. වෙසක්‌ තොරණ නම් පෙන්වන්නේ රෑට පමණි. 

එහෙත් අද දවසේ මීට හාත්පසින් වෙනස්‌ ආකාරයකට තොරණක්‌ ඉදිරිපත් කරනු ලැබ තිබේ. මේ තොරණ පොළොවේ වැතිරී ඇති තිරස්‌ව ඉදි වුණ නිර්මාණයකි. එය පොහොර, වතුර ලබමින් දින දින විවිධ වර්ණයෙන් හා විවිධ ප්‍රමාණයෙන් වර්ධනය වන්නක්‌ ද වේ. පෙන්වන්නේ හෝ දැකිය හැක්‌කේ දවල්ට පමණි. ප්‍රමාණයෙන් ගත් කල දැනට ලංකාවේ ඉදි වුණු විශාලතම තොරණ මෙය වෙයි. එය පැතිර පවතින භූමි ප්‍රමාණය වර්ග මිටර් 8400කි. මේ ලිපිය පළ වන මොහොතේත් එය දැකබලා ගත හැකි වෙයි. මෙවැන්නක්‌ ලංකා ඉතිහාසයේ නිර්මාණය වන්නේ ප්‍රථම වතාවට ය. එහි නම "ගොයම් තොරණ" වෙයි. 

ගොයම් තොරණ ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක්‌ තිස්‌සේ වගා කරන ලද වී ප්‍රභේද 74ක්‌ භාවිත කරමින් කරන ලද නිර්මාණයකි. ගොයම් පැළ සිටුවීම ක්‍රමවත්ව සිදු කිරීම මඟින් මහ පොළොවෙන් ඉස්‌මතු කරන ලද නිර්මාණයකි. එහි එක්‌ කෙළවරක සිට දිග මීටර් 120කි. පළල මීටර 70කි. එහි එක්‌ තීරයක්‌ ගල් බිංදුව නමැති අප ගේ පාරම්පරික මෝස්‌තර නිර්මාණය මතු කරයි. අනෙක්‌ තුන් පැත්ත නෙළුම් පෙති රටාවකින් යුක්‌ත වෙයි. 

සාමාන්‍යයෙන් කුඹුරුවල ලියෑදි හතරැස්‌ හැඩයෙන් යුක්‌ත වේ. තැනිතලා භූමිවල පිහිටි බොහෝ කුඹුරු මේ හැඩය ගනී. එහෙත් ගොයම් තොරණේ නියර සකසා ඇත්තේ හතරැස්‌ ලියෑදි මතු වන ආකාරයට නො වේ. එය චෛත්‍යයක හැඩය මතු වන පරිදි සකසා ඇත. 

පේසා වළලු, ගර්භය, හතරැස්‌ කොටුව, කොත් කැරැල්ල ආදී චෛත්‍යයක මූලික අංගයන් එකී චෛත්‍ය සටහනේ ද වෙයි. මේ චෛත්‍ය සටහනේ හතරැස්‌ කොටුව ප්‍රදේශයේ "2600" යන ඉලක්‌කම් ගොයම් පැළවලින් ම මතු කර චිත්‍රණය කර ඇත. ඒ සඳහා රතු පැහැති ගොයමක්‌ සතු "රත් කඳ" නැමති වී ප්‍රභේදයත්, කොළ පැහැති ගොයමක්‌ සතු "සුවඳැල්" නමැති වී ප්‍රභේදයත් භාවිත කර තිබීම විශේෂත්වයයි. එක්‌ ඉලක්‌කමක්‌ අඩි 15ක පමණ උසකින් යුක්‌ත වෙයි. ගර්භයේ ඉහළින් ම "ශ්‍රී" අකුරකි. ඊට පහළින් "සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු" මැයෙන් ගොයමින් ම සටහන් කර ඇත. "පිළිවෙතින් පෙළගැසෙමු" වැකියේ එක්‌ අකුරක්‌ අඩි 22ක්‌ වෙයි. 

මෙය දෙහිඅත්තකන්ඩිය ගල්වලකඳුර මහවැලි ගොවිපළ තුළ නිර්මාණය කර ඇත. රත්කිඳ ජලාශයේ බැම්ම මතට මේ තොරණේ හැඩරුව තරමක්‌ පෙනේ. අක්‌ෂාංශ දේශාංශ විස්‌තරයට අනුව මේ ස්‌ථානය හැඳින්විය හැක්‌කේ 7.30.33.06N, 81.03.10.95.E ලෙසිනි. දෙහිඅත්තකණ්‌ඩිය මහියංගන මාර්ගයේ හමු වන දියවිද්දාගම හන්දියෙන් රත්කිඳ දෙසට කිලෝමීටර් හතරක්‌ පැමිණීමෙන් මේ ස්‌ථානයට පිවිසිය හැකි ය. 

මෙය ලෙහෙසි පහසු නිර්මාණයක්‌ නො වූයේ මේ ගොවිපළ ප්‍රදේශයේ පවතින අධික උෂ්ණත්වය හා වාෂ්පීකරණය නිසාවෙනි. බිම් සැකසීම සිදු කර ඉතා ටික කාලයකින් මඩ කරන ලද පොළොව නැවත තදින් සවි වීම නිසා ගොයම් පැළ සිටුවීම ඉතා දුෂ්කර කරනු ලැබී ය. අධික උෂ්ණත්වය ගොවීන් ගේ හා අත්උදව්කරුවන් ගේ ශරීර වෙහෙස වැඩි කරයි. කුඹුරු වතුර උණු වතුර මෙන් උණුසුම් ය. සියලු නිර්මාණ කටයුතු කළ යුත්තේ මඩේ එරී එරී ය. එරෙන ගතිය අඩු නම් නැවත වතුර හරවා කුඹුර යළිත් මඩ කරගත යුතු ය. මේ කර්තව්‍යයට ගත වූ කාලය දවස්‌ 15කි. මිනිස්‌ පැය 160කි. සියලු අංක හා අකුරු නිර්මාණය කරන ලද්දේ ජ්‍යාමිතික හැඩතල හා සරල උපකරණ කිහිපයක්‌ භාවිත කරමිනි.

ගොයම් තොරණේ ඇති ළාබාල ම වී වර්ගය සඳහා දින 70 ක්‌ ගත වෙයි. හැට දා වී නමින් ජන ව්‍යවහාරයේ ඇති එම වී වර්ගය දින හැටක්‌ ඇතුළත සිය ජීවන චක්‍රය සම්පූර්ණ කර ගනී. වැඩිමල් ම වී වර්ගය මාස 5 1/2 ක්‌ වයසැති මුතු මානික්‌කම් ය. ඒ අතර මාස 3, 3 1/2, 4, 4 1/2, 5 1/2 ආදී විවිධ වයසින් යුත් වී වර්ග වෙයි. විවිධ ගුණයෙන්, විවිධ රසයෙන්, විවිධ සුවඳින්, විවිධ වයසින් යුත් අපේ පාරම්පරික වී වර්ග එක්‌ යායක එකට වගා කිරීම ඉතා අපහසු උත්සාහයකි. මෙහි දී වැඩිමල් වී වර්ග ආරක්‌ෂා කර ගැනීමට අධික වෙහෙසක්‌ දැරීමට සිදු වීම අනිවාර්ය අභියෝගයකි 

සියලු ම වී වර්ග වගා කරන ලද්දේ කාබනික ක්‍රමෝපායන් යටතේ ය. ඉකුත් කන්නයේ පිදුරු, නන්චි කොළ (Gliricelia Sapium) දහයියා අඟුරු, එළුබෙටි, කුකුළු පොහොර, ගෙරි කටු. ගොයම් තොරණ ඇතුළු "අපේ යාය"ට එකතු කරන ලද මූලික පොහොර වෙයි. අනතුරුව සියුම්ව වියළන ලද ගොම පොහොර, වියළි කොම්පෝස්‌ට්‌ යොදන ලදී. මූලික අවස්‌ථාවේ සිට ම මහපොළොවේ ප්‍රතිඋත්පාදන ශක්‌තිය දියුණු කිරීම පිණිස ජීවාමෘත යෙදීම සිදු කරන ලදී. ජීවාමෘත යනු ගව මුත්‍රා, ලියදි පස්‌, ගොම, පියලි ධාන්‍ය පිටි (මුං ඇට, කවුපි) හා සස්‌කර හකුරු භාවිත කරමින් සකස්‌ කරනු ලබන පොහොර සාරයකි. 

ඉකුත් කන්නයේ පුරන් ඇරඹීමත් සමග ලියදිවල හතර කොනේ කපන ලද වළවලට රොක්‌ කරන ලද විවිධ කොළ අතු අනෙක්‌ කන්නයේ ආරම්භය තෙක්‌ ගොඩගසා, පස්‌වලින් වසා තබන ලදී. එසේ නිර්මාණය කරන ලද පොහොරින් කුඹුරු වැඩ කරන කල අර්ධ දියර කොම්පෝස්‌ට්‌ පොහොරක්‌ ලැබේ. එය කුඹුරු පසේ පසට හිතකර ක්‌ෂුද්‍රජීවී ගහණයක්‌ රඳවා තබා ගැනීම පිණිස යොදා ගත් කදිම උපක්‍රමයකි. 

ගොයම් තොරණ යනු මේ විවිධ පොහොරවල ක්‍රියාකාරීත්වය පිළිබඳව කරන ලද ප්‍රායෝගික අත්හදාබැලීමක්‌ ද වෙයි. අද දවසේත් පියවි ඇසින් දැකිය හැකි යථාර්ථයකි. 

ගොයමට එන පළිබෝධ හානි පාලනය ද අත්‍යවශ්‍ය වෙයි. කොහොඹ සාරය ඒ සඳහා මනා උපයෝගයකි. ඊට අමතරව විවිධ කෙම් ක්‍රමවල උපකාරය ද පිරිත් සූත්‍රවල ඇති ශක්‌තීන් ද විශ්ව ශක්‌තීන් හා සහසම්බන්ධ කරගනු ලබන ක්‍රමෝපායන් ද ඉතා ප්‍රයෝජනවත් වෙයි. කුඹුර හා බැඳුණු විවිධ භෞතික පළිබෝධ පාලන ක්‍රම ද මෙහි දී නොඅඩුව භාවිත කර ඇත. 

මේ ගොයම් තොරණ දෙරණ පදනමේ නිර්මාණයකි. "අපේ යාය" නමින් නම් කර ඇති දෙරණ පදනම සතු ගොවිපළේ වපසරිය හෙක්‌ටයාර 5කි. ඉන් එක්‌ හෙක්‌ටයාරයක ප්‍රමාණයක්‌ මේ ගොවි තොරණ සඳහා යොදාගෙන ඇත. 

ඡායාරූපයේ දැක්‌වෙන අකුරු ගොයමින් ම පිළිබිඹු කිරීම සඳහා ජ්‍යාමිතික වෘත්ත හා රේඛා සටහන් කරන ලද්දේ ලණු හා මේ සඳහා විශේෂයෙන් තනාගත් කතිර හැඩැති උපකරණ මගිනි. එහි කොන්a අතර දුර 2, 3, 6 ලෙස පවතින පරිදි සකස්‌ කරන ලදී. අකුරුවල දුර ප්‍රමාණයන් ඉහත දුර ප්‍රමාණවලට අයත් වන සේ මූලිකව සැලසුම් කිරීම මහත් පහසුවක්‌ විය. 

අකුරු සකස්‌ කිරීම සඳහා කොටු සටහන් කොළයක උපකාරය ලබා ගන්නා ලදී. එහෙත් ක්‌ෂේත්‍රයක දී සම්පූර්ණ අකුර නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වූයේ කේන්ද්‍රීය ලCෂ්‍ය පමණි. 

සියලු ම සිංහල අකුරු ඉරි හා වෘත්ත ආශ්‍රයෙන් නිර්මාණය කළ හැකි බව මේ අභ්‍යාසය තුළින් පැහැදිලි වූ අමතර කරුණකි. 

වී වර්ග 74ක්‌ වගා කිරීම මෙන්ම සපයා ගැනීමත් ලෙහෙසි පහසු කරුණු නො වේ. ලංකාවේ විවිධ ප්‍රදේශවල ගොවිතැනින් දිවි ගෙවන අපේ ගොවි මහත්වරුන් දුන් සහයෝගයත් ගන්නෝරුව කෘෂි විද්‍යා පර්යේෂණායතනය, බතලගොඩ වී පර්යේෂණායතනය, බෝම්බුවල වී පර්යේෂණායතනය යන ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් ලබා දුන් සහයෝගය ද ස්‌තුති පූර්වකව සිහිපත් කළ යුත්තකි. 

ගොයම් තොරණ යනු මහා හිම කන්දක මතුපිට පෙනෙන ඉතා සුළු ප්‍රමාණයක්‌ තරම් සරල නිර්මාණයකි. ඒ තුළින් අපේක්‌ෂා කරන්නේ පාරම්පරික වී පිළිබඳව මහජන අවධානයක්‌ යොමු කරවීම පමණි. ගොවියාත් පාරිභෝගිකයාත් අතර අවියෝජනීය පෞද්ගලික මානුෂීය සම්බන්ධතාවක්‌ ගොඩනඟා දෙපාර්ශ්වයේ ම අෙන්‍යාන්‍ය පැවැත්ම තහවුරු කිරීම ගොයම් තොරණ පසුපස ඇති සැබෑ ජාතික වුවමනාවයි. 

මේ නිර්මාණාත්මක සත්කාර්යය සඳහා තම තම සවි ප්‍රමාණයෙන් දායක වීමට ඔබ සැමට ද අවකාශය ඇත. සහල් මිල දී ගැනීම, බිත්තර වී මිල දී ගැනීම, කුඹුරු වැඩට සහභාගි වීම, අනුග්‍රාහක භවතුන් සම්බන්ධ කර දීම බොහෝ දෙනකුට කළ හැකි සරල නමුත් ප්‍රබල අත්‍යවශ්‍ය උපකාර වෙයි. වැඩිදුර විස්‌තර සඳහා 0718348457 දුරකථන අංකය ඔස්‌සේ විමසීම් කළ හැකි ය. 

රුචිර ශ්‍යාමන්ත ගුණතිලක 

 

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya